ශ්‍රී ලංකා දුම්රිය සේවය නවීකරණය කිරීමේ පියවරක් ලෙස, මගී ජනතාවට වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවාවක් සැපයීමට නව ප්‍රවේශපත්‍ර පද්ධතියක් සහ ඒවා පරීක්ෂා කිරීමේ නවීන උපකරණ දිවයින පුරා දුම්රිය ස්ථාන වෙත හඳුන්වා දීමට කටයුතු කර ඇති බව මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මගී ජනතාවට උපරිම පහසුව සැලසෙන ලෙස අතිරේක විශේෂාංග රැසක්ද සහිතව මෙම ව්‍යාපෘතිය මෙම වසර අවසානයට පෙර නිම කිරීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
CSRP ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් පැරණි දුම්රිය ටිකට්පත් වෙනුවට නව ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දීමට නියමිතය.
මීට පෙර ක්‍රියාත්මක වූ මාර්ගගත (Online) ක්‍රමය තවදුරටත් පුළුල් කරමින්, මෙම නව පද්ධතිය හරහා දුම්රිය සේවාව වඩාත් විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමතාවයකින් යුතුව පවත්වාගෙන යාමට හැකියාව ලැබේ.
නියමු ව්‍යාපෘතිය එළඹෙන අප්‍රේල් මාසයේදී කැලණිවැලි දුම්රිය මාර්ගය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
නාරාහේන්පිට, නුගේගොඩ, මාකුඹුර, හෝමාගම සහ පාදුක්ක යන දුම්රිය ස්ථානවල පළමුව මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නියමු ව්‍යාපෘතිය හරහා මතුවන ප්‍රායෝගික ගැටලු හඳුනා ගැනීමෙන් පසු කෙටි කලක් ඇතුළත කැලණිවැලි මාර්ගයේ සියලුම දුම්රිය ස්ථාන වෙතත්, ඉන්පසු දිවයිනේ සෙසු දුම්රිය මාර්ග වෙතත් මෙම “ස්මාර්ට්” ප්‍රවේශපත්‍ර පද්ධතිය ව්‍යාප්ත කිරීමට සැළසුම් යොදා ඇත.


