ඉදිකිරීම්, නිෂ්පාදන, අපනයන සහ සේවා කර්මාන්ත ඇතුළු සියලුම කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබා දීම සඳහා රජයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසයි.
කර්මාන්තකරුවන් සඳහා ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළ සහ එහි ප්‍රගතිය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ලේකම්වරිය මේ බව සඳහන් කළාය.
2026 මාර්තු 16 සිට ක්ෂේත්‍ර 20කට අයත් කර්මාන්තකරුවන් 2,846 ක් තම ඉන්ධන අවශ්‍යතා සම්බන්ධ තොරතුරු ලබා දී ඇති අතර, එම ඉල්ලීම් අතරින් 2,551 ක් නිර්දේශ කර මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට යවා ඇති බවද ඇය සඳහන් කළාය.
ලීටර් 400 ට අඩුවෙන් ඉන්ධන ඉල්ලුම් කළ කර්මාන්තකරුවන් සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් අනුමත කර, ලඟම පිහිටි ඉන්ධන පිරවුම් හල්වලට ලබා දීම සඳහා නිර්දේශ කර ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ඒ අනුව, කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන ගැටලුවකින් තොරව ලබා දීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කරමින් සිටින බවද ලේකම්වරිය අවධාරණය කළාය.


