බේකරි කර්මාන්ත ගැටලු හා පාරිභෝගික බලපෑම් අවම කිරීමට සාකච්ඡා

බේකරි කර්මාන්ත ගැටලු හා පාරිභෝගික බලපෑම් අවම කිරීමට සාකච්ඡා
  • SocialShare:

බේකරි නිෂ්පාදන මිල වැඩිවීම් පාලනය කිරීම සහ පාරිභෝගිකයින්ට ඇති බලපෑම අවම කිරීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

මැද පෙරදිග කලාපීය යුද තත්ත්වය හේතුවෙන් උද්ගත වී ඇති ආර්ථික බලපෑම් හමුවේ මෙරට බේකරි කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බේකරි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තකරුවන් ඊයේ (26) වෙළෙඳ අමාත්‍යාංශයට කැඳවා තිබූ අතර, එහිදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

පසුගිය සතියේ සිදු කළ ඉන්ධන මිල සංශෝධනයෙන් අනතුරුව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබූ අතර, එම මිල වැඩිවීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

බේකරි නිෂ්පාදන සඳහා භාවිතා කරන උඳුන් ක්‍රියාත්මක කිරීම සඳහා ඩීසල් භාවිතා කරන බැවින්, ඉන්ධන මිල වැඩිවීම නිෂ්පාදන පිරිවැයට සෘජු බලපෑමක් එල්ල කර ඇති බව කර්මාන්තකරුවන් මෙහිදී සඳහන් කළහ.

එමෙන්ම, බේකරි නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන තිරිඟු පිටි මිල අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් වැඩි නොකරන බවට තිරිඟු පිටි සමාගම් පසුගිය සතියේ දී ලබා දුන් පොරොන්දුව අමාත්‍යවරයා සිහිපත් කළේය. අලුත් අවුරුද්දෙන් පසුව තිරිඟු පිටි මිල වැඩිවුවහොත්, බේකරි නිෂ්පාදන මිල යළි ඉහළ දැමීමට කටයුතු කරනවාද යන්න පිළිබඳවද මෙහිදී විමසනු ලැබීය.

බේකරි හිමිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේ, තිරිඟු පිටි මිල රුපියල් 10ක පමණ ප්‍රමාණයකින් වැඩි වුවද, බේකරි නිෂ්පාදන මිල ඉහළ නොදමන බවයි.

එසේම, ෆාම් ඔයිල් යොදාගනිමින් නිෂ්පාදනය කරන මාගරින් සෞඛ්‍යයට හිතකර නොවන බැවින්, නිෂ්පාදන සඳහා බටර් භාවිතය දිරිමත් කිරීම සඳහා පවතින බාධා ඉවත් කරදෙන ලෙස බේකරි හිමිකරුවන් ඉල්ලීමක් කළහ.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අමාත්‍යවරයා සඳහන් කළේ, ෆාම් ඔයිල් සහ බටර් මිල බේකරි නිෂ්පාදන පිරිවැයට බලපාන බැවින්, බටර් සඳහා පවතින ආනයනික බදු සංශෝධනය පිළිබඳව සලකා බැලීම සඳහා එම ඉල්ලීම ලිඛිතව යොමු කරන ලෙසයි.

මෙම සාකච්ඡාව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.