රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර රජයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙන්න - ධීවර ඇමති

රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර රජයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා  සහයෝගය ලබා දෙන්න - ධීවර ඇමති
  • SocialShare:

රාජ්‍ය නිලධාරීන්ගෙන් රජය අපේක්ෂා කරන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති උපරිම කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම බවද එමනිසා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර රජයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා  සහයෝගය ලබා දෙන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (24) පෙරවරුවේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දස වසරකට ආසන්න කාලයක් පැවති සහකාර අධ්‍යක්ෂ පුරප්පාඩු සම්පූර්ණ කරමින්, අභිනවයෙන් බඳවා ගත් නිලධාරීන් 10 දෙනෙකු සඳහා පත්වීම් පිරිනැමීමේ අවස්ථාවට එක් වෙමිනි.

විවෘත ධාරාව යටතේ නිලධාරීන් දෙදෙනෙකු සහ සීමිත ධාරාව යටතේ නිලධාරීන් අට දෙනෙකු මෙලෙස පත්වීම් ලැබූහ. වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පිහිටවූ බඳවා ගැනීම් අනුමත කිරීමේ කමිටුවේ විශේෂ අනුමැතිය මත, විභාග දෙපාර්තමේන්තුව පැවැත්වූ තරග විභාගයකින් මෙම පිරිස තෝරාගෙන ඇත.

දස වසරකට ආසන්න කාලයක් තිස්සේ පැවතුණු පරිපාලනමය බාධාවන් ඉවත් කරමින් මෙම නිලධාරීන් අද නීත්‍යනුකූල බලතල සහිතව රාජකාරි අරඹන බව පෙන්වා දුන් අමාත්‍යවරයා වංචාව සහ දූෂණය යනු ජාතියක් විනාශ කරන පිළිකාවක් බව ද පැවසුවේය.

අතිරික්ත වරප්‍රසාද සහ වැටුප් පවා ප්‍රතික්ෂේප කරමින් වත්මන් රජය පූර්වාදර්ශ සපයන බවත්, එම පවිත්‍ර දේශපාලන සංස්කෘතිය රාජ්‍ය පාලන යන්ත්‍රණය තුළ ස්ථාපිත කිරීමේ වගකීම නව නිලධාරීන් සතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

විශේෂයෙන්ම ‘දිට්වා’ වැනි ස්වභාවික ව්‍යසනයන් සහ ගෝලීය අභියෝග හමුවේ පීඩාවට පත් ධීවර ප්‍රජාව සුරක්ෂිත කිරීමේ වගකීම අවධාරණය කළ අමාත්‍යවරයා, අමාත්‍යාංශය තුළ කිසිදු වංචාවකට හෝ දූෂණයකට ඉඩ නොතබා පිරිසිදු රාජ්‍ය සේවාවක් ලබාදීමට අදිටන් කරගත යුතු බව පැවසුවේය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.