දිවයින පුරා දැඩි සත්කාර ඒකකවල වකුගඩු රෝග සේවා ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවත්, දැඩි සත්කාර සේවා ශක්තිමත් කිරීම ජාතික ප්‍රමුඛතාවක් වන අතර, වසර කිහිපය තුළ ධාරිතාව පුළුල් කිරීම, උසස් තාක්ෂණ සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ වෛද්‍යවරුන්ගේ කුසලතා ගොඩනැගීමේ කටයුතු සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
දැඩිසත්කාර ඒකක තුළ උග්‍ර වකුගඩු ආබාධ තත්ත්වයන්ට පත්ව (acute kidney injury -AKI) ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන් කළමණාකරණය කිරීම සඳහා ලබාදෙනු ලබන අඛණ්ඩ වකුගඩු ප්‍රතිස්ථාපන චිකිත්සාව (Continuous Renal Replacement Therapy - CRRT ) පිළිබඳව මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා වූ විශේෂ පුහුණූ වැඩමුළුවක සමාරම්භය පසුගියදා කොළඹ ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවති අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම අදහස් දැක්වීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නිර්වින්දන සහ දැඩිසත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සිංගප්පූරුවේ සිංහෙල්ත් (SingHealth) යටතේ පවතින සිංගප්පූරු මහ රෝහල (Singapore General Hospital) සමග එක්ව නව සහයෝගීතාවයකින් මෙම පුහුණු වැඩසටහන පවත්වනු ලබන අතර, මෙම පුහුණු වැඩසටහන දීර්ඝ කාලීනව පැවැත්වීමට සංගප්පූරු වෛද්‍ය කණ්ඩායම කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලංකාව පුරා දැඩි සත්කාර ඒකකවල සේවය කරන ඉදිරි පෙළ විශේෂඥයින් බලගැන්වීම මෙම සහයෝගීතාවයේ ප්‍රධාන ඉලක්කය වන අතර, විශේෂඥ දේශන, විද්වත් සාකච්ඡා සහ ප්‍රායෝගික CRRT පුහුණුව ඒකාබද්ධ කිරීමෙන්, බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් කළමනාකරණය කරන වෛද්‍යවරුන්, වකුගඩු රෝග විශේෂඥයින්, නිර්වින්දන වෛද්‍යවරුන් සහ හදිසි ප්‍රතිකාර ඒකක කණ්ඩායම්වල සායනික දැනුම ශක්තිමත් කිරීම මෙම පුහුණු වැඩමුළුවේ අරමුණයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම විශේෂ අවස්ථාව පිළිබඳව සිය අදහස් යොමු කර තිබූ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්. ශ්‍රීධර්න් මහතා එම අදහස් සභාවට ඉදිරිපත් කරන ලදි.
ලොව පුරා, සෞඛ්‍ය සේවා පද්ධති තුළ දැඩිසත්කාර ප්‍රතිකාර සේවා රෝගීන් කළමනාකරණය කිරීමේදී අභියෝගයන්ට මුහුණ දෙනු ලබන බවත්, ශ්‍රී ලංකාවේ ද, දැඩි සත්කාර ඒකක තුළ සංකීර්ණ වෛද්‍ය තත්වයන් සහිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කිරීමේ දී උග්‍ර වකුගඩු ආබාධය, බරපතල ලෙස රෝගාතුර වූ වකුගඩු රෝගීන් තුළ දක්නට ලැබෙන සැලකිය යුතු සංකූලතාවයක් ලෙස දැකිය හැකි බැවින් ඒ සඳහා කාලෝචිත රෝග විනිශ්චය, විශේෂිත දැනුම සහ උසස් වකුගඩු ආධාරක ප්‍රතිකාර අවශ්‍ය වන බව එහි පෙන්වා දී තිබුණි.


