ශ්‍රී ලංකා–ඕස්ට්‍රේලියා පාරිසරික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය

ශ්‍රී ලංකා–ඕස්ට්‍රේලියා පාරිසරික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය
  • SocialShare:

හරිත හා තිරසාර අනාගතයක් උදෙසා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew Duckworth මහතා සහ පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා අතර පැවති හමුවක් ඊයේ(24) පැවති අතර එම හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී, COP31 දේශගුණික සාකච්ඡා, දේශගුණික විපර්යාසවලට අනුහුරු වීම සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම, දේශගුණික මූල්‍යකරණය, අලාභ හා හානි පියවීමේ යාන්ත්‍රණයන් සහ ඉන්දු–පැසිෆික් කලාපීය සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා පිළිබඳව ද සාකච්ඡා විය.

තවද, නිල් කාබන් පරිසර පද්ධති, සාගර දූෂණය පාලනය, සාගර විද්‍යා පර්යේෂණ, ආපදා අවදානම් කළමනාකරණය සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැනි නැගී එන සහයෝගීතා ක්ෂේත්‍ර පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

ඕස්ට්‍රේලියාව විසින් අඛණ්ඩව ලබාදෙන සහයෝගය අගය කළ අමාත්‍යවරයා, දේශගුණික අනුහුරුකරණය, සාගර හා වෙරළබඩ පරිසර පද්ධති ආරක්ෂාව, ආපදා අවදානම් අවම කිරීම සහ තාක්ෂණික සහාය ලබා ගැනීම වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ජීවනෝපාය මාර්ග දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන අයුරින් නංවාලීමට ඕස්ට්‍රේලියාවට ලබාදිය හැකි සහයෝගය පිළිබඳව ද මහ කොමසාරිස්වරයා කරුණු පැහැදිලි කළේය.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.