කොළඹ වරායේ සංවර්ධනයට ADB සහාය තවදුරටත්

කොළඹ වරායේ සංවර්ධනයට ADB සහාය තවදුරටත්
  • SocialShare:

කොළඹ වරායේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සහ මෙහෙයුම් කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහාය තවදුරටත් ලබා දෙන බව එහි සභාපති මසටෝ කණ්ඩා (Masato Kanda) මහතා පවසයි.

තෙදින නිල සංචාරයක් සඳහා පසුගියදා දිවයිනට පැමිණි ADB සභාපතිවරයා ඇතුළු දූත පිරිස ඊයේ (24) කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

එම සංචාරයේදී ADB සභාපතිවරයා ප්‍රමුඛ නියෝජිත පිරිස වරායේ දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ මෙහෙයුම් ක්‍රියාකාරකම් සමාලෝචනය කළ අතර,  ඉදිරි සංවර්ධන ව්‍යාපෘති යෝජනා සහ මෙහෙයුම් කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා පැවැත්විණි.

වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ADB අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද  මෙහිදී අවධානය යොමු කෙරිණි.

කොළඹ වරායේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ADB  බැංකුව දිගු කාලයක් තිස්සේ මූල්‍ය ආධාර  සපයයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්  පිරිසක්ද එක්ව සිටියහ.