දඹුල්ල කෘෂි ශීතාගාර සංකීර්ණයේ වැඩ අවසන් කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක්

දඹුල්ල කෘෂි ශීතාගාර සංකීර්ණයේ වැඩ අවසන් කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක්
  • SocialShare:

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව ඉදිකිරීම් අසම්පූර්ණව පවතින කෘෂි ශීතාගාර සංකීර්ණයේ වැඩ අවසන් කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට අමාත්‍යංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා ඇතුළු අමත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද, ආහාර කොමසාරිස් ලාල් හේවාපතිරණ මහතා මෙන්ම ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් එහි සංවර්ධන සහයෝගීතා උපදේශක Maitrey Kulkarni මහතා ඇතුළු නියෝජිතයන් තිදෙනෙකු සහ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කළ LQ - SAW Engineering (pvt) ltd හි  නියෝජිතයන් පිරිසක් ද සහභාගි විය.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකළ ඉන්දීය හවුල්කරු සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට සම්බන්ධ කරගැනුණු අතර ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරි වී. රත්නම් මහත්මිය ඇතුළු පිරිසක් ද එක්විය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කේ.ඒ විමලේන්තිරරාජා මහතා අරමුණ පැහැදිලිකරමින් සාකච්ඡාව ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ අවශ්‍යතාවය පසුගිය වසරේ මෙන්ම වර්තමානයේත් ඉතාමත් අත්‍යවශ්‍ය වන අතර මෙම ප්‍රමාදය නිසා රටට එම පහසුකම අහිමි වී ඇති බැවින් මෙය කඩිනමින් විසඳා ගැනීමට සාකච්ඡාවෙන් ප්‍රවේශය සපයා ගත යුතු බව පැවසීය.

අනතුරුව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අදහස් දක්වන ලදී.

  “පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා සහ ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් මෙය විවෘත කරනු ලැබුවේ මෙය හැකි ඉක්මනින් අවසන් කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්. නමුත් අවාසනාවකට වසරක් ගත වී ඇතත් තවමත් මෙය අවසන් වී නැහැ. ඒ නිසා මෙය තවදුරටත් දිගින් දිගටම ඇදගෙන නොගොස් අවසන් කළ හැකි ක්‍රමයක් සොයාගත යුතුයි. කොන්ත්‍රාත්කරුවන්, උපදේශකවරුන් සහ ශ්‍රී ලංකා රජය යන හැම පාර්ශ්වයකම ගැටලු මෙහි පවතිනවා. මෙය රටවල් දෙකටම අදාළ මහජන මුදල් සහ පරිත්‍යාගයක් බැවින් නියමිත කාල රාමුවක් තුළ මෙය අවසන් කිරීමට මඟක් අප අනිවාර්යෙන්ම සෙවිය යුතුයි. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ද මෙය අවසන් කිරීමට විශාල උත්සාහයක් දරනවා. රටවල් දෙකටම මෙය එතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. කොන්ත්‍රාත්කරුවන් ලෙස ඔබටත්, විදේශීය කොන්ත්‍රාත්කරුවන්ටත් මෙන්ම ශ්‍රී ලංකා පාර්ශ්වයේ උපදේශකවරුන්ටත් මේ පිළිබඳ ගැටලු සහ සැලකිලිමත් වියයුතු කරුණු තිබෙනවා. අවසාන වශයෙන් මුළු රටම බලා සිටින්නේ මෙය තවමත් ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න පිළිබඳවයි. විපක්ෂයේ අය විවිධ අදහස් දක්වනවා. නමුත් ඔවුන් සැබෑ ඇත්ත හෙළිකරන්නේ නැහැ. කොහොම වුණත් අප මෙය අවසන් කළ යුතුයි. ඔබට විසඳාගැනීමට ඇති ගැටලු ඉදිරිපත් කරන්න. එවිට ඒවා විසඳාදීමට මගක් අපට සොයා ගත හැකියි. අද පැවැත්වෙන්නේ මේ ව්‍යාපෘතියේ තීරණාත්මක රැස්වීමයි.”

වහලයෙන් ජලය කාන්දුවීම, පොළොවේ මට්ටම පිළිබඳ පවතින ගැටලුව සහ සිසිලන පද්ධතියේ ඇති ගැටලුකාරී තත්ත්වය දඹුල්ල ශීතාගාර සංකීර්ණය සම්බන්ධයෙන් පවතින ගැටලු බව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරි වී. රත්නම් මහත්මිය මෙම සාකච්ඡාවේ දී පෙන්වා දුන් අතර ඉන් ප්‍රධානතම ගැටලුව වන්නේ සිසිලන පද්ධතියේ ගැටලුව බව පැවසීය.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් එහි සංවර්ධන සහයෝගීතා උපදේශක Maitrey Kulkarni මහතා එහිදී අදහස් දක්වන ලදී.

  “වහලේ ජල කාන්දුව සහ පොළොවේ මට්ටම් පිළිබඳ දෙපාර්ශ්වයම දැනටමත් යම් වැඩ කොටසක් කර ඇති බව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) දන්නවා. එය පරීක්ෂා කිරීමේදී ගැටලුවක් මතු නොවුණත්, මෝසම් වැසි කාලයේදී එය නැවත වරක් පරීක්ෂා කර බැලීමට ඔබ බලාපොරොත්තු වුණා. ඉන් පසුවත් යම් අලුත්වැඩියාවක් අවශ්‍ය වුවහොත් එය සිදුකිරීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබෙනවා. ඒ නිසා එය දැන් තවදුරටත් විශාල ගැටලුවක් නොවෙයි. පොළොව මට්ටම් කිරීම සම්බන්ධයෙනුත්, මුලු පද්ධතියම අලුතින් සකස් කරනවා වෙනුවට භාණ්ඩ බාන ස්ථානවලදී වාහන හැසිරවීමට එය බාධාවක් නොවන්නේ නම්, එය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමෙන් පසු විසඳාගත හැකියි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නම් අපට විසඳාගැනීමට ඉතිරිව ඇති ප්‍රධානම ගැටලුව සිසිලන පද්ධතිය පිළිබඳ ගැටලුවයි.”

ඒ අනුව දෝෂ සහිත සිසිලන යන්ත්‍ර ප්‍රතිස්ථාපනය කිරීම හෝ නැවත සවිකිරීම, ආර්ද්‍රතාකාරක නිසි ලෙස ක්‍රියාකරවීමට සැලැස්වීම සහ පවත්වා ගත හැකි අවම සිසිලන මට්ටම කුමක්දැයි ස්ථිර කර ගැනීම සදහා තීරණය කෙරිණ.

මෙහිදී සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට සම්බන්ධ වූ ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකළ ඉන්දීය හවුල්කරු අදහස් පළකරන ලදී.

එමෙන්ම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කළ LQ - SAW Engineering (pvt) ltd හි  නියෝජිතයෙකු අදහස් දක්වන ලදී.

  “අපි දැනටමත් මෙම ව්‍යාපෘතියෙන් සියයට 99ක්ම අවසන් කර තිබෙනවා. දැන් ඉතිරිව ඇත්තේ සිසිලන පද්ධතිය පිළිබඳ ගැටලුව පමණයි. ඔහුගේ තාක්ෂණික කණ්ඩායම සමග පැමිණ සති හතරක් ඇතුළත සියලුම නඩත්තු කටයුතු අවසන් කිරීමට ඔහු එකඟ වුණා. ඒ සඳහා ඔවුන්ට විදුලිය අවශ්‍යයි. මෙම අවස්ථාවේදී කොන්දේසි විරහිතව වැඩ අවසන් කිරීමට අප එකඟයි. කොවිඩ් වසංගතය, පහුගිය කාලේ රටේ පැවති තත්ත්වයන්, බලා එම ප්‍රමාද ගාස්තු අය නොකර අපට සහනයක් ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.”

අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා දෙපාර්ශ්වයේම ගැටලු තිබෙනවා නම් අපි අපේක්‍ෂා කළ පරිදි ඒවා නිවැරදි කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිය යුතු බව පැවසීය.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් එහි සංවර්ධන සහයෝගීතා උපදේශක Maitrey Kulkarni මහතා එහිදී අදහස් දැක්වීය.

“ඉදිරියට ගත යුතු පියවර 3 ක් හෝ 4 ක් තිබෙනවා. පළමුව CECB ආයතනය පවසන පරිදි, පද්ධතිය පරීක්ෂා කර බලා එය අධීක්ෂණය  සඳහා සූදානම් කළ යුතුයි. එහිදී මීයන්ගෙන් හානි සිදුවී තිබේද, ගෑස් හෝ සිසිලන ද්‍රව්‍ය කාන්දු වී තිබේද යන්න පිළිබඳව සමීක්ෂණයක් කළ යුතුයි.”

ඉන්පසුව, දැනටමත් ලංකාවට ගෙනවිත් ඇති උපකරණ කාමර (chambers) තුනෙහි සවි කළ යුතුයි.

මෙම කටයුතු දෙකම නඩත්තු කාලය තුළ සති හතරක් ඇතුළත අවසන් කිරීමට ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකළ ඉන්දීය හවුල්කරු එකඟවිය.

එමෙන්ම උපකරණ සවිකිරීමේදී වෝල්ටීයතාවයේ සිදුවන වෙනස්වීම් නිසා එම මිල අධික උපකරණ වලට හානි වීමේ අවදානමක් පවතින බව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර ඒ හේතුවෙන් එම උපකරණ සවිකිරීමට පෙර අනිවාර්යෙන්ම වෝල්ටීයතා ස්ථායිකාරකයක් සවිකිරීමට රජය ලබාදෙන සහතිකය මත වැඩ ආරම්භ කිරීම සඳහා ඔහු එකඟතාව පළ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය අවසන් කරන ආකාරය පිළිබඳ වැඩ සැලැස්මක් යොමුකිරීමට ද  ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකළ ඉන්දීය හවුල්කරු එකඟ විය.

වර්තමාන තත්ත්වය අනුව ව්‍යාපෘතිය අවසන් කිරීමට තවත් සති දෙකක කාලයක් ලබාදීමට හැකි බවත්, විදුලි රැහැන් ඇතුළු සර්කිට් බ්‍රේකර්ස් කිහිපයක් අලුත්වැඩියාකිරීමට ඇති බැවින් ඒ සඳහා වැයවන නිවැරදි කාලය සලකා බලා සති හයක් හෝ අටක් වැනි කාලයක් ලබාගෙන සම්පූර්ණයෙන්ම ව්‍යාපෘතිය අවසන් කරන ලෙස ඉදිකිරීම් සිදුකළ කොන්ත්‍රාත්කරුවන්ට මෙම සාකච්‍ඡාවේදී යෝජනා කෙරිණ.

ඒ අනුව සති 6ත් 8ත් අතර කාලයකදී මෙය අවසන් කිරීමට එකඟතාව පළ වූ අතර ඒ අනුව කඩිනමින් එම කටයුතු සිදුකරන ලෙස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඉදිකිරීම් සිදුකළ කොන්ත්‍රාත්කරුවන්ට උපදෙස් දෙන ලදී.