2025 නොවැම්බර් මස අග භාගයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් කෘෂි වගාවන් නැවත ස්ථාපිත කිරීම සඳහා ගොවීන්ට සහන ලබාදීමට රජය තීරණය කර තිබේ.
එම ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් ක්ෂේත්‍ර භෝග, එළවළු සහ පළතුරු වගාවන් නැවත වගා කිරීම සඳහා සහන ලබා දීමට දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති අතර, ගම්මිරිස්, කෝපි සහ කරඳමුංගු වැනි සුළු අපනයන භෝග සඳහාද සහන ලබාදීමට පියවර ගෙන ඇත.
එසේම, හානියට පත්ව ඇති තේ, පොල් සහ රබර් වගා නැවත වගා කිරීම සඳහා සහන ලබා දීමේ අවශ්‍යතාව පිළිබඳව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් මහා භාණ්ඩාගාරයට නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
එම නිර්දේශ මත පදනම්ව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව, තේ වගාව සඳහා උපරිම වශයෙන් හෙක්ටයාරයකට රු. 500,000/-ක්, රබර් වගාව සඳහා උපරිම වශයෙන් හෙක්ටයාරයකට රු. 400,000/- සහ පොල් වගාව සඳහා උපරිම වශයෙන් හෙක්ටයාරයකට රු. 750,000/- වශයෙන් සහන හිමි වේ.
මෙම සහන මගින් ආපදා හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වැවිලි භෝග වගා නැවත සවිබල ගැන්වීමටත්, ගොවීන්ගේ ආදායම් මාර්ග යළි ගොඩනඟා ගැනීමටත් උපකාරී වනු ඇති බව සඳහන් වේ.


