ජනතාවට අධික ලෙස බර පැටවෙන ආකාරයට තෙල් මිල වැඩිවෙනවා නම් එයට මැදිහත් වීමට රජය සූදානම් බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
මැදපෙරදිග පවතින යුද වාතාවරණය හමුවේ ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල තෙල් මිල ඉහළ ගොස් ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා , ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වීමත්, තෙල් පරිභෝජනය ඉහළ යාමත් හේතුවෙන් මෙලෙස තෙල් මිල වැඩි කිරීමට සිදුවූ බව අවධාරණය කළේය.
වේගයෙන් ඉහළ යන තෙල් මිල හමුවේ එම බර ජනතාවට නොදීමට මෙලෙස තෙල් මිල වැඩිකළ බවද මෙවැනි ප්‍රමාණයකින් මේ අවස්ථාවේ තෙල් මිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද පැවසුවේය.
මෙම තත්ත්වය හමුවේ අප රටට වඩා දැවැන්ත තෙල් සංචිත පවත්වා ගත හැකි රටවල් පවා, විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා මැදපෙරදිග වර්ධනය වන තත්ත්වය හමුවේ සහ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගිය බවද පෙන්වා දුන්නේය.
ලෝක වෙළදපොළේ තෙල් මිල වැඩිවී අපගේ තෙල් පරිභෝජනයද වැඩි වන විට එය අපගේ ඩොලර් සංචිතයට විශාල බලපෑමක් සිදුකරන බවද මෙම සියල්ල කළමනාකරණය කරගැනීම සදහා තෙල් මිල වැඩිකළ බවද සඳහන් කළේය.
තෙල් මිල කළමනාකරණය කිරීමට සහ අනාගතයේදී තෙල් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බැවින් මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


