සමූපකාර සාමාජික ලියාපදිංචිය සඳහා ඩිජිටල් ද්වාරය ජූලි 14දා දියත් කෙරේ

සමූපකාර සාමාජික ලියාපදිංචිය සඳහා ඩිජිටල් ද්වාරය ජූලි 14දා දියත් කෙරේ
  • SocialShare:

“සමූපකාර සාමාජික ලියාපදිංචිය සඳහා වූ ඩිජිටල් ද්වාරය” ජූලි 14දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී නිල වශයෙන් දියත් කිරීමට නියමිත බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ , ඊයේ (04) සමරනු ලැබූ ජාත්‍යන්තර සමූපකාර දිනයට සමගාමීව මෙම ඩිජිටල් ද්වාරය සමූපකාරිකයන් වෙත විවෘත කිරීමට පෙර එහි මූලික හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

මිලියන 8කට ආසන්න සමූපකාර සාමාජිකයන් පිළිබඳ විධිමත් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම මෙම ඩිජිටල් ද්වාරයේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, සියලු සමූපකාරිකයන් එක් ජාතික ඩිජිටල් වේදිකාවකට සම්බන්ධ කරමින් සාමාජික ලියාපදිංචිය නොමිලේ සිදු කෙරෙන අතර, ඒ සඳහා අවශ්‍ය දැනුම හා පුහුණුව සමූපකාර නියෝජිතයන් වෙත ලබාදීමට ද කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන සමූපකාර ක්ෂේත්‍රයේ මහා පරිමාණ ඩිජිටල් පරිවර්තනයක පළමු අදියර වන අතර ඉදිරියේදී ඩිජිටල් සාමාජික අනන්‍යතාව, මාර්ගගත සේවා, ඩිජිටල් ගෙවීම් හා ඡන්දය ප්‍රකාශ කිරීම, සමූපකාර බැංකු ඒකාබද්ධ කිරීම, සැපයුම්දාම හා ප්‍රසම්පාදන පද්ධති සහ ජාතික සමූපකාර දත්ත වේදිකාවක් ස්ථාපිත කිරීම දක්වා මෙම වැඩපිළිවෙළ පුළුල් කිරීමට රජය අපේක්ෂා කරයි.

සමූපකාර ක්ෂේත්‍රය රටේ ආර්ථිකයේ තුන්වන කුළුණ බවට පත් කිරීමේ රජයේ වැඩපිළිවෙළට මෙම ඩිජිටල් ද්වාරය වැදගත් පියවරක් වනු ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම අවස්ථාවට සමූපකාර සංවර්ධන කොමසාරිස් සහ සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් තරණි කුමාරදාස මහත්මිය ඇතුළු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එක්ව සිටියහ.