“කාන්තාවෝ ද මනුෂ්‍යයෝය ය” යන දැක්ම සමාජය තුළ ස්ථාපිත කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය සඳහන් කරයි.
අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙවර ජාත්‍යන්තර කාන්තා දින ගෝලීය තේමාව ලෙස “Rights. Justice. Action. For All Women and Girls” යන තේමාව ප්‍රකාශයට පත්කර ඇති අතර, සියලු කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා අයිතිවාසිකම්, යුක්තිය සහ ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම එහි අරමුණ බවද ඇය සඳහන් කළාය. අතීතයේ ස්ත්‍රී–පුරුෂ සමාජභාවය මත අවස්ථා සහ ධාරිතාවය තීරණය කරන ලද සමාජයක් පැවති නමුත්, අද වන විට කාන්තාවක් වීම අවස්ථා ඉදිරියේ ප්‍රශ්නයක් නොවන සමාජයක් නිර්මාණය කිරීම සඳහා සාධනීය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරිය අවධාරණය කළාය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියගේ සුබ පැතුම් පණිවිඩය පහත දැක් වේ.
ලොව පුරා ස්ත්‍රීත්වය සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.
සියලු කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා අයිතිවාසිකම්. යුක්තිය. ක්‍රියාකාරීත්වය යන්න තේමා කරගනිමින් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද වැනි දිනක අප රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් පිළිබඳ නැවුම් දෘෂ්ඨි කෝණයකින් දකින්නට උත්සහ කිරීම වැදගත් වේ.
ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත සුදුසු නුසුදුසු බව සහ ධාරිතාවය තීරණය කරන ලද අතීතයකට අප හිමිකම් කියුවෙමු. නමුත් මෙම මොහොත වන විට අවස්ථා ඉදිරියේ කාන්තාවක් වීම ප්‍රශ්න නොකෙරෙන සමාජයක් වෙනුවෙන් අපි සාධනීය පියවර රාශියක් තබා ඇත්තෙමු.
අද වන විට ප්‍රවාහන සහ ගමනගමන ක්ශේත්‍රය තුළ, සංචාරක සහ හෝටල් කර්මාන්තය තුළ, නිශ්පාදනීකරණය සහ සැපයුම්කරණය යන ක්ශේත්‍ර තුළ කාන්තා නියෝජනය දක්නට ලැබීම භූමි ප්‍රමාණය පරයා සමාජයීය දැක්ම පුළුල් වී ඇති බවට නිදසුනකි.
එසේ වුවද මේ පොළොව මත මුණගැසෙන බොහොමයක් කාන්තාවන් ව්‍යවසායිකාවක, සේවා සපයන්නියක, රජයේ හෝ පෞද්ගලික අංශයේ වෘත්තීන්හි නියැලෙන්නියක, විදෙස්ගත රැකියාවක නිරත වන්නියක යන කවර භූමිකාවක සිටින කාන්තාවක වුව ද දවස අවසානයේ නිවෙස් තුළ මූල්‍යමය වශයෙන් අගය නොකළ වැටුප් නොලබන සුරැකුම් ශ්‍රමයේ නිරත වන්නෝය.
ඒ අනුව කාන්තාවන්ගේ මෙම සුරැකුම් ශ්‍රමය සඳහා නිසි වටිනාකමක් ලබා දෙමින් ඇයව පවුලේ බර දරන්නියකට සීමා නොකර ඇය රටේ ආර්ථිකයේ සක්‍රීය හවුල්කාරිය බවට පත් කිරීම අප වගකීමක් සේ සළකන්නෙමු.
"පොහොසත් රටක අබිමන - ඇය වේ දැයක පෙර මග" යන්න මෙවර ජාතික තේමාව ලෙස තෝරා ගැනෙන්නේ ද එනිසාවෙනි.
කාන්තාව නිසි ගෞරවයට පාත්‍ර වන සමාජයක් ගොඩනැගීම මගින් ඇයට තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී සම අයිතිය හිමිවන බව අප විශ්වාස කරන අතර, ඒ වෙනුවෙන් වන ප්‍රතිපත්තිමය සහ ව්‍යූහාත්මක බාධා ඉවත් කරමින් ඇයට ලෝකය තරණය කිරීමේ නව මං පෙත් විවර කරන්නට අප බැඳී සිටින්නෙමු.
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සංවර්ධනය යනුවෙන් අර්ථකතනය කරනු ලැබුවේ ආර්ථික දර්ශක ඉහළ නැංවීම පමණක් නොව, සෑම පුරවැසියෙකුටම ගෞරවනීය ජීවිතයක් උරුම කර දීමයි.
රජයක් ලෙස අප කැප වන්නේ ග්‍රාමීය කාන්තාව හෝ නාගරික කාන්තාව ලෙස බෙදා වෙන් නොකළ අභිමානවත් ශ්‍රී ලාංකීය කාන්තාවක් ගොඩ නැගීම වෙනුවෙනි.
ආදරය, මානව දයාව සහ අන්‍යොන්‍ය ගෞරවය ගෝලීය අවශ්‍යතාවයක්ව පවතින අවස්ථාවක ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස "කාන්තාවෝ ද මනුෂ්‍යයෝය ය" උත්තරීතර දැක්ම අප හදවත් තුළ තැන්පත් කර ගැනීමටත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමටත් 2026 ජාත්‍යන්තර කාන්තා දිනය අපි අවස්ථාවක් බවට පත්කරගනිමු.
කාන්තාවන්ට ජය !
සරෝජා සාවිත්‍රි පෝල්රාජ්
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
2026 මාර්තු මස 08 දින


