ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
  • SocialShare:

ශ්‍රී ලංකාවේ වෙළඳ , ආයෝජන සහ රාජ්‍ය මූල්‍ය අරමුණු සඳහා රුකුලක් සැපයීම වෙනුවෙන් විනිවිදභාවයෙන් යුතු පුරෝකථනය කළ හැකි සහ සංගත තීරුබදු රාමුවක් ස්ථාපනය කිරීමට ජාතික තීරුබදු ප්‍රතිපත්තිය හඳුන්වා දී තිබේ.


අදාළ බදු සම්බන්ධිත අණ පනත් සමග අනුකූලතාවය සහතික කිරීම සහ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ආශ්‍රිත පැන නැගී ඇති ගැටලු විසඳීමේ අරමුණෙන් එම ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කර යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහා පසුගිය වසරේ නොවැම්බර් මස 3වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව මෑත කාලීන ආර්ථික , රාජ්‍ය මූල්‍ය සහ වෙළඳ කටයුතු ආශ්‍රිත දත්ත මෙන්ම අදාළ වන අණ පනත් සමග පූර්ණ වශයෙන් අනුකූල නොවන තීරුබදු ප්‍රතිපත්තියේ විධිවිධාන පිළීබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කර තිබේ.
එසේම ජාතික තීරුබදු ප්‍රතිපත්තියේ ව්‍යාකූලතාවයන් ඉවත් කිරීම සහ ප්‍රතිපත්තිමය විධිවිධාන හා ව්‍යස්ථාපිත අවශ්‍යතා සමග අනුකූලතාව සහතික කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව ලබා දෙනු ලැබ ඇති නිරීක්ෂණ ද එම සමාලෝචනයේ දී සැළකිල්ලට ගෙන ඇත.ඒ අනුව ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව ඉදිරිපත් කරන ලද නිිර්දේශ මත පදනම්ව යාවත්කාලීන කළ ජාතික තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට , මුදල් , ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.