මෙරට ක්‍රියාත්මක ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර සේවාවන් වඩාත් ඵළදායී ලෙස සහ සැළසුම් සහගත ලෙස පවත්වා ගෙන යාම සදහා එම විෂයට අදාළ විශේෂඥයන්ගේ සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ විද්වත් කතිකාවතක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (19) කොළඹ පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයේ දී පැවැත්විණි.
ආයුර්වේද වෛද්‍ය සේවාව ලබා ගන්නා මෙරට ජනතාව මෙන්ම එම සේවාවේ නියුතු සෞඛ්‍ය වෘත්තියන්, පරිපාලයන්, නියාමකයන් සහ ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළ වූවන් විසින්ම ආයුර්වේද සේවාව ඇගයීමකට ලක්කරමින් මෙරට ජීවත්වන ජනතාව හා බද්ධ වූ ගුණාත්මක, විධිමත් කාර්යක්ෂම සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍යවන ඉදිරි සැලසුම්, යෝජනා සහ මාර්ගෝපදේශ පිළිබදව මෙහි දී පුළුල් කතිකාවතක නිරත විය.
මෙම විද්වතුන් පිරිස ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ජන සමාජයට ලබාගත හැකි වටිනා මෙහෙය ප්‍රශංසාත්මකව අගය කල අතර, ස්වයං ඇගයීමක් තුලින් අත්කරගත හැකි දියුණුවත්, ගෝලීය වශයෙන් ඉන්දියාව හා චීනය වැනි රටවල් හා එක් වියහැකි ප්‍රගතියක් ඉලක්ක කරගත යුතු බව ද මෙහි දී පෙන්වා දුන් අතර ඒ පිළිබදවත් සාකච්ජාවට ගැනිණ.
එමෙන්ම ආයුර්වේද වෛද්‍ය සේවාව පවත්වාගෙන යාමේ දී වර්ථමානය වන විට පැන නැගී ඇති භෞතික හා මානව සම්පත් අභියෝගයන්, ආයුර්වේද පර්යේෂණයන්, ආයුර්වේදය ප්‍රමුඛ කරගත් සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය, අඩු වියදමකින් ගුණාත්මක සේවාවක් ලබා දීම, පුනරුත්ථාපන සේවාවන් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යනු ලබන එම සේවාවන් විධිමත් කිරීම, රෝගී දත්ත පිළිබදව විධිමත් දත්ත පද්ධතියක් ආරම්භකර පවත්වාගෙන යාම, රෝගි ප්‍රතිකාර ක්‍රමවේදයන් හා ඊට අදාළ තොරතුරු පිළිබදව විධිමත් දත්ත පද්ධතියක් පවත්වා ගෙන යාම, දැනුමින් සපිරි ආයුර්වේද වෛද්‍යවරුන් බිහිකිරීම, විශේෂඥයන්ගෙන් සැදුම්ලත් විශේෂඥ කමිටුවක් පත් කිරීම, සෞඛ්‍ය වෘත්තිකයන්හට ලබා දෙන පුහුණුවීම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම වැනි කරුණු පිළිබදව මෙහි දී විශේෂ අවධානයක් යොමුකර සාකච්ජා කරන ලදී.


