ලිට්රෝ ගෑස් හිඟයක් නැහැ ප්‍රමාණවත් තොග සුරක්ෂිතයි - ලිට්‍රෝ සමාගමේ සභාපති

ලිට්රෝ ගෑස් හිඟයක් නැහැ ප්‍රමාණවත් තොග සුරක්ෂිතයි - ලිට්‍රෝ සමාගමේ සභාපති
  • SocialShare:

වෙළඳපොළේ ඇති වූ තාවකාලික LP ගෑස් සිලින්ඩර් හිඟය සම්බන්ධයෙන් භීතියට පත්ව අධික මිලදී ගැනීම් සිදු කිරීමට අවශ්‍ය නොවන බව Litro Gas Lanka Limited සමාගම ජනතාවට දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා සඳහන් කළේ, පෙබරවාරි 14 වන දින සිදුවූ දින දෙකක ගෑස් සැපයුම් අත්හිටුවීමක් හා ලිට්රෝ ගෑස් සඳහා ඇති වූ අනපේක්ෂිත ඉල්ලුම් වැඩිවීම හේතුවෙන් මෙම තාවකාලික සැපයුම් සීමාව ඇති වූ බවයි. එම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට වහාම ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු පැවසීය.
ඒ අනුව, පෙබරවාරි 17 සහ 18 දිනවල ගෘහස්ථ නැවත පිරවුම් සිලින්ඩර් 284,000ක් නිකුත් කර තිබෙන බවද හෙතෙම දැනුම් දෙයි. තවද, අද සිට සෙනසුරාදා දක්වා ගෘහස්ථ නැවත පිරවුම් සිලින්ඩර් 351,000ක් නිකුත් කිරීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තවද සමාගම අවශ්‍ය ප්‍රමාණවත් තොග සඳහා ඇණවුම් කර ඇති අතර, මෙම මස අවසන් වීමට පෙර නැව් තොග තුනක් පැමිණීමට නියමිත බව ද සභාපතිවරයා පැවසීය.
ඉදිරියේදී ගෑස් හිඟයක් ඇති නොවන බවත්, සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් තොග සුරක්ෂිත කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.