ජපාන ඉහළ පෙළේ දූත පිරිසක් වෙළඳ අමාත්‍යවරයා හමුවෙයි

ජපාන ඉහළ පෙළේ දූත පිරිසක් වෙළඳ අමාත්‍යවරයා හමුවෙයි
  • SocialShare:

ජපාන ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ (METI) ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය තකේහිකෝ මත්සුවෝ (Takehiko Matsuo) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජපාන දූත පිරිසක්, පසුගියදා (17) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හමුවිය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු ඉසොමතා අකියෝ Isomata Akio මහතා, ජපාන-ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කමිටුවේ සභාපති ෆුමිහිකෝ කොබෙයාෂි Fumihiko Kobeyashi මහතා ඇතුළු ජපාන රජයේ ආයතන සහ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගම් නියෝජනය කරමින් නියෝජිතයින් 40 දෙනෙකුගෙන් පමණ සමන්විත ඉහළ පෙළේ දූත පිරිසක් සහභාගී වූහ.

පැමිණ සිටි ජපාන පෞද්ගලික අංශයේ නියෝජිතයන් අතර Itochu Corporation, Dole Asia Holdings, Mitsui & Co. Ltd. සහ Tokyo Kyodo Holdings Co. Ltd. වැනි ආයතන ද විය. ජපාන රජයේ පාර්ශවයෙන් ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය, ජපාන විදේශ වෙළෙඳ සංවිධානය (JETRO), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යාංශය (METI) නියෝජනය විය.

මෙහිදී දූත පිරිස උණුසුම් ලෙස පිළිගත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතාවය වන්නේ කෘෂිකර්මාන්තය, නිෂ්පාදන කර්මාන්ත, අපනයන ප්‍රසාරණය, සංචාරක සහ සමුද්‍රීය ක්ෂේත්‍ර සඳහා ගුණාත්මක විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම බව අවධාරණය කළේය. මෙම උපායමාර්ගික ක්ෂේත්‍ර ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සහ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට ඉතා වැදගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව තරඟකාරී සහ විශ්වාසදායක ආයෝජන ගමනාන්තයක් ලෙස සලකා බලන ලෙස ජපාන ආයෝජකයින්ට ආරාධනා කළේය.

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම, ප්‍රධාන ගෝලීය වෙළෙඳපොළවල් වෙත ඇති සමීපත්වය සහ දක්ෂ ශ්‍රම බලකාය වැනි වාසිදායක සාධක හේතුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් ජපාන ආයෝජකයින්ට ආකර්ෂණීය මෙන්ම උපායමාර්ගික මධ්‍යස්ථානයක් බව උප අමාත්‍ය මත්සුවෝ මහතා ප්‍රකාශ කළේය. ජපාන ආයෝජන ඉහළ නැංවීම සහ දෙරට අතර කාර්මික සහයෝගිතාව ගැඹුරු කිරීම හරහා ශ්‍රී ලංකාවේ අපනයන විවිධාංගීකරණය කිරීම සඳහා යෝජිත “අපනයන අභිමුඛ කර්මාන්ත කොරිඩෝවක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ” ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද උප අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට උනන්දුවක් දක්වන ජපාන සමාගම්වල අපේක්ෂාවන් සහ ගැටලු පිළිබඳව ද මෙහිදී සුහදව සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා පාර්ශ්වය නියෝජනය කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ වාණිජ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වූහ.