කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් නවදිල්ලි නුවරදී පැවැත්වෙන AI Impact Summit 2026 සමුළුවට ජනපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ අතර, ජනපති අද(19)එම සමුළුව ඇමතීමට නියමිතය.
මෙම සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට පැමිණ සිටින රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයටද ඊයේ(18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි විය.
දින 05ක් පුරා පැවැත්වෙන සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වීමට නියමිතය.
එමෙන්ම, මෙම සමුළුවේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන්මඟ සහ ගෝලීය අභියෝග ජය ගැනීමට එය භාවිත කළ හැකි ආකාරය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.


