භික්ෂූන් වහන්සේලාගේ මාපියන්ට නිවාස ලබාදෙන “යතිවර මාපිය නිවහන” වැඩසටහනට කැබිනට් අනුමැතිය

භික්ෂූන් වහන්සේලාගේ මාපියන්ට නිවාස ලබාදෙන “යතිවර මාපිය නිවහන” වැඩසටහනට කැබිනට් අනුමැතිය
  • SocialShare:

බුද්ධ ශාසනයේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීමේ අරමුණින්, පැවිදි බිමට දරුවන් එක් කර ඇති ආර්ථික දුෂ්කරතා ඇති නිවසක් අහිමි දෙමාපියන්ට නව නිවාස ඉදිකර දීම සඳහා “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන පවුල්වලින් දරුවන් ශාසනයට දායාද කර ඇති දෙමව්පියන් වෙත ශාසනික කෘතගුණ දැක්වීමක් ලෙස මෙම වැඩසටහන දියත් කෙරේ.

වැඩසටහනේ මූලික අදියර යටතේ 2026 වසරේ සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි නිවාස 1,000ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන දැනට ක්‍රියාත්මක වන “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස වැඩසටහනට අනුබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන අතර, හඳුනාගනු ලබන ප්‍රතිලාභීන්ට නව නිවසක් ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරින්ගේ නිර්දේශ මත රුපියල් මිලියන 1.5ක මූල්‍යාධාරයක් ලබා දෙනු  ලැබේ.