පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට රජයක් ලෙස ශක්තිමත් පියවර ගන්නවා - අමාත්‍ය විජිත හේරත්

පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට  රජයක් ලෙස ශක්තිමත් පියවර ගන්නවා - අමාත්‍ය විජිත හේරත්
  • SocialShare:

රට තුළ පාතාල ක්‍රියාකාරකම් සහ  මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමට රජයක් ලෙස ශක්තිමත් පියවර ගනිමින් තිබෙන බවද ඒ සඳහා මේ රටේ සියලු ජනතාවගේ සහභාගීත්වය අත්‍යාවශ්‍ය වන බවද විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මත්ද්‍රව්‍ය ජාවාරම සමග සම්බන්ධ වූ පාතාල ක්‍රියාකාරීත්වය වර්ධනය වී ඇතැයිද එය මැඩපැවැත්වීමට නව රජය වශයෙන් ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇතැයිද පැවසුවේය.

විෂමත් ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වන රටම එකට-   මත්ද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහන ආරම්භ කර ඇතැයිද පැවසූ අමාත්‍යවරයා  එම වැඩසටහන ගම් මට්ටම දක්වා ක්‍රියාත්මක වනබව පැවසීය.එම  වැඩසටහන යටතේ පසුගිය කාලයේ රට තුළත් ජාත්‍යන්තර වශයෙනුත් ක්‍රියාත්මක වුණු ජාත්‍යන්තර පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගණනාවක් අත්අඩංගුවට ගත් බවද  පැවසීය.

ඔවුන් ලංකාවට රැගෙනවිත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත්, තවත් නඩු ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවද පැවසූ අමාත්‍යවරයා සියලුම ආගමික නායකවරුන්, සිවිල් පුරවැසියන් යන සියලුදෙනාගේම සහයෝගයෙන් මෙම පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම නතර කළ හැකි වෙතැයි විශ්වාස කරන බවද පැවසුවේය.

සෘජුව හෝ වක්‍රව කිසිදු ආකාරයකින් මත්ද්‍රව්‍ය ජාවාරමට, පාතාලයට උදවු උපකාර නොකරන ලෙසත් එය මැඩපැවැත්වීමට සහාය ලබාදෙන ලෙසත් රජයක් ලෙස මෙරට සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව පැවසූ අමාත්‍යවරයා ජන සහයෝගීත්වයෙන් මෙය සම්පූර්ණයෙන්ම මුලින් උපුටා දැමිය හැකි යැයිද අවධාරණය කළේය.