දිවයිනේ සෑම ප්‍රදේශයකම සැලකිය යුතු අස්වැන්නක් ලැබෙමින් පවතින අතර වී මිලදී ගැනීම සදහාත් සියලු කටයුතු සූදානම්ව පවතින බවද කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා සදහන් කරයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
2024 අවසාන භාගය වන විට මෙරට උග්‍ර සහල් හිඟයක් පැවති බවද විශාල වශයෙන් සහල් ආනයනයට සිදුවුණ බවද පැවසූ ලේකම්වරයා එවිට අමාත්‍යංශයට පැවති ප්‍රධාන අභියෝගය වූයේ මේ රටට අවශ්‍ය වන සහල් නිෂ්පාදනය පවත්වාගෙන යාම බවද සදහන් කළේය.
2025 මහ කන්නය සහ යළ කන්නය අවසන් වන විට රටේ ප්‍රමාණවත් සහල් ප්‍රමාණයක් පවත්වාගෙන යාමට හැකි වූ බවද මේ වන විට රටේ කිසිදු සහල් හිඟයක් නැතැයිද පැවසුවේය. වසරේ නොවැම්බර් දෙසැම්බර් වන විට සහල් හිගයක් සාමාන්‍යෙයන් වාර්තා වුවද මෙම වසරේ එලෙස කිසිදු සහල් හිගයක් වාර්තා වී නැතැයිද අතිරික්ත සහල් ප්‍රමාණ සෑම ප්‍රෙද්ශයකම පවත්වාගෙන යන බවද පැවසුවේය.
කන්න 02ක් තුළ රටේ සහල් නිෂ්පාදනය යථා තත්ත්වයට ගෙනයාමට රජය ලෙස ප්‍රධාන වශයෙන් වැඩපිළිවෙලවල් කිහිපයක් යෙදූ බවද සිහිපත් කළ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා ගොවීන්ට දෙන පොහොර සහනාධාරය යම් වැඩිකිරීමක් සිදුකර ගොවීන් කෘෂිකර්මයට යම් ආකර්ෂණය කිරීමක් කළේයැයිද පැවසුවේය.
ඊට අමතරව වී සඳහා සහතික මිලක් එනම් වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නා මිලක් නීර්ණය කර එය ප්‍රසිද්ධියට පත්කර ගොවීන්ට වී මිල සම්බන්ධව ස්ථාවර තත්ත්වයක් ඇතිකළේ යැයිද සදහන් කළේය.
තුන්වෙනුව මෙසේ නිෂ්පාදනය කරන වී මිලදී ගැනීම සදහා වී අලෙවි මණ්ඩලයට අවශ්‍ය අරමුදල් ලබාදී සෘජුවම ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සිදුකළ බවද අවධාරණය කළේය.
මෙම ක්‍රියාමාර්ග 03 නිසා ගොවීන්ට ලොකු විශ්වාසයක් ඇතිවූ බවද නැවතත් ගොවිතැනට පැමිණ විශාල වශයෙන් බලාපොරොත්තු නොවුණ ප්‍රමාණයට ද ගොවීන් සමහර කන්න වල වී ගොවිතැනේ යෙදුණු බවද පැවසුවේය.
පසුගිය යළ කන්නයේ නොහිතපු අක්කර ප්‍රමාණයක් එනම් හෙක්ටයාර ලක්ෂ 05කට කිට්ටු ප්‍රමාණයක් වගාකළ බවද එය ඉතිහාසය තුළ වගාකළ බවට දන්නා වැඩිම ප්‍රමාණය යැයිද වැඩිදුරටත් සදහන් කළේය.
ඒ අනූව අවශ්‍ය වන සහල් නිෂ්පාදනය සිදුකර ඇතැයිද දිට්වා සුළිකුණාටුව හේතුවෙන් මහ කන්නයේ හෙක්ටයාර විසි පන්දහසක් පමණ වගාවෙන් ඉවත් කිරීමට සිදුවූ බවද එමනිසා මෙම කන්නයේ බලාපොරොත්තු වුණ අස්වැන්නට වඩා යම් ප්‍රමාණයක් අඩු වුවද හොඳ සැලකිය යුතු අස්වැන්නක් දිවයිනේ සෑම ප්‍රදේශයකම ලැබී ඇතැයි අවධාරණය කළේය.


