අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි
  • SocialShare:

2025 (2026) අධ්‍යයන පොදු සහතිකපත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය අද ආරම්භ වෙයි.

විභාගය අද(17) සිට පෙබරවාරි 26 දක්වා දක්වා පැවැත්වෙන අතර, මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 382,249ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 69,214ක් වශයෙන් මුළු අපේක්ෂකයින් 451,463ක් පෙනී සිටීමට නියමිතය.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,545ක් ක්‍රියාත්මක වන අතර, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 531ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇත. විශේෂ විභාග මධ්‍යස්ථාන ලෙස රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, වටරැක සුනීත විද්‍යාලය, මහරගම අපේක්ෂා රෝහල සහ කෛතඩි නෆීල්ඩ් විශේෂ පාසල නම් කර ඇත.
විභාග කාලය තුළ අවශ්‍ය ආරක්ෂාව පොලීසිය සහ ත්‍රිවිද හමුදාව විසින් ලබා දෙන අතර, යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානමින් සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අපේක්ෂකයින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය භාවිතා කළ හැකි අතර, විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමේදී ජංගම දුරකථන, ඉලෙක්ට්‍රොනික උපාංග, ගණක යන්ත්‍ර, මකන දියර සහ සටහන් පොත් රැගෙන නොපැමිණීමට  විභාග කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් ලබා දී ඇත.
විශේෂ අවශ්‍යතා සහිත අපේක්ෂකයින් සඳහා පෙර අයදුම්පත් කැඳවා වෛද්‍ය වාර්තා අධ්‍යයනය කර අවශ්‍ය පහසුකම් සැලසීමටද කටයුතු කර තිබේ. සියලුම අපේක්ෂකයින් තමන්ට ලබා දී ඇති කාලසටහන අනුව විභාගය ආරම්භයට පැයකට පෙර නියමිත මධ්‍යස්ථානයට පැමිණ විභාග නීතිරීති අනුව කාර්ය මණ්ඩලය ලබා දෙන උපදෙස් පිළිපැදිය යුතු බව දැනුම්දී ඇත.

මෙවර විභාගයේදී කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසද විභාග කොමසාරිස් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනුම්දී තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ  ඊයේ(16)  පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විභාග කොමසාරිස්වරයි පැවසුවේ, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවිය සහ නිල ෆේස්බුක් ගිණුම මඟින් ප්‍රකාශයට පත් කර ඇති කාලසටහන පිළිබඳ පමණක් අවධානය යොමු කරන ලෙසයි.

පසුගිය වසරට වඩා මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විෂය පෙළ ගැස්ම පස්වන, හයවන, හත්වන සහ අටවන දිනයන්හි වෙනස් කර ඇති බැවින් නිවැරදි කාලසටහන පමණක් භාවිත කරන ලෙස ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

විභාගය උදෑසන 8.30ට ආරම්භ වන අතර, අපේක්ෂකයින් විභාගය ආරම්භයට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතුය. සවස් වරුවේ විභාගය පස්වරු 1.30ට ආරම්භ වන අතර, අපේක්ෂකයින් දහවල් 12.30 වන විට විභාග මධ්‍යස්ථාන වෙත වාර්තා කළ යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.