අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹේ

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹේ
  • SocialShare:

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගය රට පුරා මධ්‍යස්ථාන 3545 කදී හෙට (17) සිට ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය මේ බව පැවසුවාය.

සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) සිට මේ මස 26 වැනිදා දක්වා පැවැත්වෙන බවද ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 531ක් රට පුරා ස්ථාපිත කර ඇතැයිද පැවසුවාය. මේ සඳහා විභාග ශාලාධිපතිවරුන් ඇතුළු විභාග කාර්ය මණ්ඩලය 30,000ක් පමණ අනියුක්ත කර ඇතැයිද සදහන් කළාය.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් උදෙසා රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, මහරගම අපේක්ෂා රෝහල, කයිතඩි නෆීර් විශේෂිත පාසල, යාපනය, වටරැක තුන්හිත විද්‍යාලය ආදී ස්ථානවල විශේෂිත විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇතැයිද පැවසුවාය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පාසල් අයදුම්කරුවන් 382,249ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 69,214ක් ලෙස සමස්ත අයදුම්කරුවන් 451,463ක් ඉදි­රි­පත් වන බවද පැවසුවාය.

සියලුම අයදුම්කරුවන්ට මේ වන විට අයදුම්පත් යොමු කර ඇතැයිද පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් පෞද්ගලික ලිපිනයන් වෙත යොමු කර ඇතැයිද වැඩිදුරටත් සදහන් කළේය.

කිසියම් අපේක්ෂකයෙකුට මේ වන තෙක් අයදුම්පත ලබාගැනීමට නොහැකි වූයේ නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩ­විය වන www.doenets.lk වෙතින් බාගත කර ගත හැකි බවද අවධාරණය කළාය.

විභාගය ආරම්භ වීමට පැයකට පෙර තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට යොමු වීම අනිවාර්යය බවද ජංගම දුරකතන, බ්ලුටූත් උපකරණ ආදිය විභාග ශාලාවට ගෙන ගොස් විභාග වංචා සිදු කිරීම නිසා පසුගිය වසරේදී අයදුම්කරුවන් 30ක් පමණ විභාග තහනමට ලක් වුණු බවද සිහිපත් කළාය.එමෙන්ම විභාග අක්‍රමිකතා නිසා ඇතැම් දරුවන්ට ජීවිත කාලය පුරාවටම විභාග තහනමට ලක් විය හැකි බවද පැවසුවාය.