තිරසාර ආයෝජන අවස්ථා පුළුල් කරමින් ස්ථාවර හා විනිවිදභාවයෙන් යුතු ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනගන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
කොළඹ Shangri-La Hotel Colombo හි පසුගියදා(13) පැවති CEO’s Pearl of the Indian Ocean: Sri Lanka වැඩසටහනට සමගාමීව පැවති සැසියකදී ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංවිධානයේ (CEO) සාමාජිකයින් අමතා ඇය මේ බව සඳහන් කළාය.
රටවල් 60 කට අධික සංඛ්‍යාවක විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරන ගෝලීය ව්‍යාපාරිකයින්ගෙන් සමන්විත මෙම සංවිධානය හමුවේ අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ව්‍යුහාත්මක පරිවර්තනයක් සහ විනිවිදභාවයෙන් යුතු, සියල්ල ඇතුළත් වර්ධනයක් මත පදනම්ව ක්‍රියාත්මක වන බව අවධාරණය කළාය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකරන ප්‍රතිසංස්කරණ ඔස්සේ තරුණ තරුණයින්ට නව අවස්ථා නිර්මාණය කිරීම, විභාග මධ්‍යගත පද්ධතියෙන් ඉවත්ව ශිෂ්‍ය කේන්ද්‍ර කරගත් ක්‍රමවේදයක් ගොඩනැගීම සහ අනාගතයට සුදුසු කුසලතා සහ නම්‍යශීලී ශ්‍රම බලකායක් සකස් කිරීම රජයේ අරමුණ බවද ඇය පැවසුවාය.
“වගවීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ දූෂණයෙන් තොර පාලනයක් සඳහා ජනතාව අපට ජනවරමක් ලබා දුන්නා. ශ්‍රී ලංකාව ස්ථාවර වෙමින් පවතිනවා. ධනාත්මක වර්ධනයක් වාර්තා කරමින් විශ්වාසය නැවත ගොඩනඟා තිබෙනවා. මේක කෙටි කාලීන ක්‍රියාවලියක් නොව, දිගුකාලීන ගමනක්,” යනුවෙන් ඇය සඳහන් කළාය.
ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ව්‍යවස්ථාදායක සහ නියාමන රාමු ශක්තිමත් කර ඇති බවත්, තිරසාර ආයෝජන සඳහා විශ්වාසය සහ ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීම, ආපදා අවම කිරීමේ පද්ධති ශක්තිමත් කිරීම සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛතා අතර වන බවද ඇය පැවසුවාය.
ශ්‍රී ලංකාව ඉන්දු-පැසිෆික් කලාපයේ උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස සලකා බැලීමට CEO සාමාජිකයින්ට ආරාධනා කළ ඇය, ඛනිජ අපනයන, සැපයුම් සහ නාවුක සේවා, කෘෂි සැකසුම්, පුනර්ජනනීය බලශක්ති, ඖෂධ හා නවෝත්පාදන අංශවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳවද අවධාරණය කළාය.
තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා අධ්‍යාපනය, පර්යේෂණ, වෘත්තීය පුහුණුව සහ නවෝත්පාදන සහයෝගීතාව අත්‍යවශ්‍ය කුළුණු ලෙසද ඇය පෙන්වා දුන්නාය.
2026 වැඩසටහනේ අංගයක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීම සම්බන්ධයෙන් කෘතඥතාව පළ කළ අග්‍රාමාත්‍යවරිය, ගෝලීය ආයෝජකයින් සමඟ ඵලදායී සහ දිගුකාලීන හවුල්කාරිත්ව සඳහා රජය සූදානම් බව නැවත තහවුරු කළාය.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.


