දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳ ඉන්දීය රජයට ශ්‍රී ලංකාවේ ස්තුතිය

දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳ ඉන්දීය රජයට ශ්‍රී ලංකාවේ ස්තුතිය
  • SocialShare:

ඓතිහාසික දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතු වන්දනා කිරීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට සිය ස්තුතිය පුද කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව හෙට (11) උදෑසන 6.00ට අවසන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව, ධාතුන් වහන්සේ වන්දනාවට එක්වීමට බලාපොරොත්තු වන සියලුම ජනතාව අද (10) රාත්‍රී 10.00ට පෙර පෝළිම්වලට එක්වන ලෙසද අමාත්‍යවරයා මහජනතාවට දැනුම් දුන්නේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව පෙබරවාරි 04 දින පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා සහය ලබාදුන් ඉන්දීය රජයටත්, සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සියලු කාර්යමණ්ඩලයටත් සිය ස්තුතිය පුද කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.