තේ හා පොල් ආශ්‍රිත නව අපනයනකරුවන් ඉලක්ක කරගනිමින් අපනයන සංවර්ධන මණ්ඩලයෙන් වැඩසටහනක්

තේ හා පොල් ආශ්‍රිත නව අපනයනකරුවන් ඉලක්ක කරගනිමින් අපනයන සංවර්ධන මණ්ඩලයෙන්  වැඩසටහනක්
  • SocialShare:

අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ශ්‍රී ලංකාවේ තේ සහ පොල් අංශවල නව හා අනාගත අපනයනකරුවන් ඉලක්ක කරගනිමින් එහි ප්‍රධාන කාර්යාලයේදී ජාලකරණ සැසියක් සංවිධානය කර තිබේ.

එහිදී විවිධ මාතෘකා යටතේ විශේෂ දේශනයන් රැසක් මෙම සැසියේදී ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.
ඒ අනුව මෙම සැසියේදී Wichy Plantation (Pvt) Ltd හි Cluster විධායක අධ්‍යක්ෂ ඉන්දික පෙරේරා මහතා "අභියෝගාත්මක වෙළඳපොලවල් වෙත ඇතුලුවීම සහ සාර්ථක වීම පිළිබඳ සැබෑ උදාහරණ" යන මාතෘකාව යටතේ සිය දේශනය ඉදිරිපත් කර ඇත.
තවද පොල් සංවර්ධන අධිකාරියේ වෙළඳපොළ සංවර්ධන හා පර්යේෂණ අංශයේ පර්යේෂණ නිලධාරී චතුරංග වික්‍රමරත්න මහතා "පොල් සංවර්ධන අධිකාරියේ අපනයනකරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය සහ අවශ්‍යතා" පිළිබඳව සහ පොල් අපනයනය සඳහා නියාමන අනුකූලතාවය පිළිබඳව සහභාගිවන්නන්ට තොරතුරු ඉදිරිපත් කර තිබේ.
අක්බර් බ්‍රදර්ස් (Pvt) Ltd හි ප්‍රධාන කළමනාකරු සහ Senior Tea Taster (තේ) ඒඩ්‍රියන් ගේබ්‍රියල් මහතා "විදේශීය ගැනුම්කරුවන් සමඟ සබඳතා ගොඩනැගීම සහ පවත්වාගෙන යාම" යටතේ දිගු කාලීන ජාත්‍යන්තර ව්‍යාපාරික හවුල්කාරිත්වයන් ස්ථාපිත කිරීම සඳහා ප්‍රායෝගික උපාය මාර්ග පිළිබද සිය අත්දැකීම් විස්තර කර ඇත.
තවද ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ තිෂාන් ද සිල්වා මහතා "ලංකා තේ සඳහා නැගී එන වෙළඳපොලවල් සහ ලාංඡනය උපයෝගී කර ගැනීම" යටතේ නව වෙළඳපොළ අවස්ථා සහ ගෝලීය තේ වෙළඳාමේ සන්නාම වැදගත්කම අවධාරණය කර තිබේ.

Inextricable Group UK හි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ, SLIM හි හිටපු සභාපති, ව්‍යාපාර හා අලෙවිකරණ උපදේශක සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්ය සුරංජිත් ස්වාරිස් මහතා "තරඟකාරී ගෝලීය වෙළඳපොලවල් තුළ වෙළඳ නාමය වෙනස් කිරීම සහ වෙළඳපොළ වෙනස්කරන උපාය මාර්ග" පිළිබඳ ව සහභාගීවන්නන් දැනුවත් කර ඇත.

එසේම මෙම වැඩසටහන මගින් නැගී එන අපනයනකරුවන්ට කර්මාන්ත පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වීමට, වෙළඳපොළ අවබෝධයන් ලබා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික අපනයන අංශ දෙකක අපනයන අවස්ථා ගවේෂණය කිරීමට අවස්ථාව සළසා දී තිබේ.