යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් පරිසරයට හානි නොකර සාම්ප්‍රදායික මාදැල් කර්මාන්තය සුරකින්න - ධීවර අධ්‍යක්ෂ ජනරාල්

යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් පරිසරයට හානි නොකර සාම්ප්‍රදායික මාදැල් කර්මාන්තය සුරකින්න - ධීවර අධ්‍යක්ෂ ජනරාල්
  • SocialShare:

මාදැල් කර්මාන්තය සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතය හේතුවෙන් වෙරළාශ්‍රිත පරිසර පද්ධතියට සහ අනෙකුත් ධීවර ප්‍රජාවට සිදුවන දැඩි අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින්, පවතින නීති රාමුවට අනුකූලව සාම්ප්‍රදායික ක්‍රමවේද අනුගමනය කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සමස්ත මාදැල් ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

ට්‍රැක්ටර් සහ වින්ච් යන්ත්‍ර භාවිතය තහනම් කිරීමට එරෙහිව ඇතැම් ප්‍රදේශවල පැවැත්වෙන විරෝධතා පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ, 1984 මාදැල් නියෝග මාලාවට අනුව, මාදැල් කර්මාන්තය යනු යාන්ත්‍රික ක්‍රියාකාරකම්වලින් තොරව, මිනිස් ශ්‍රමය පමණක් භාවිතා කරමින් සිදු කළ යුතු සාම්ප්‍රදායික රැකියාවක් බවයි.

"අලුතින් නීති පැනවීමක් සිදු කර නැහැ. පවතින නීතිය ක්‍රියාත්මක කිරීම පමණයි සිදු වන්නේ. දිවයිනේ ක්‍රියාත්මක මාදැල් 827න් අති බහුතරයක්, විශේෂයෙන් දකුණු පළාතේ ධීවරයින්, අදටත් ගැටලුවකින් තොරව මිනිස් ශ්‍රමයෙන් සාම්ප්‍රදායිකව කර්මාන්තයේ නිරත වෙනවා," යැයි කහවත්ත මහතා පැවසීය.

යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් සිදුවන හානි ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පහත කරුණු අවධාරණය කළේය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන් පරිදි, වින්ච් යන්ත්‍ර සහ ට්‍රැක්ටර් භාවිතය නිසා පහත පාරිසරික හා සමාජීය ගැටලු පැන නැගී ඇත.

මුහුදු පතුල විනාශ වීම. එනම් නියමිත ප්‍රමාණයට වඩා දිගු දැල් සහ අධික බරැති බරු යෙදීම නිසා මුහුදු පතුල සූරාගෙන යාමෙන් කොරල්පර සහ මත්ස්‍ය අභිජනන ස්ථාන විනාශ වීම.

වෙරළ ඛාදනය. වෙරළ තීරයේ බර යන්ත්‍ර භාවිතය නිසා වෙරළ ඛාදනය සහ වෙරළ පරිසර පද්ධති විනාශ වීම.

කුඩා ධීවරයින්ට බාධා. නියමිත සීමාව ඉක්මවා විශාල මුහුදු ප්‍රදේශයක් වට කිරීම හේතුවෙන් කුඩා ධීවර යාත්‍රා හිමියන්ට සහ වෙනත් ධීවරයින්ට රැකියාවේ නිරත වීමට බාධා පැමිණීම.

"නවීන තාක්ෂණය භාවිතය කියා පවසමින් සිදු කරන්නේ නීතිවිරෝධී සහ පරිසර විනාශකාරී ක්‍රියාවක්. මේ නිසා සම්ප්‍රදායික ධීවර කර්මාන්තයත්, සමුද්‍රීය සම්පතත් රැකගැනීම අපගේ වගකීමක්," යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

එබැවින් අනෙකුත් ධීවරයින්ට හෝ පරිසරයට හානි නොවන පරිදි, නීත්‍යානුකූල රාමුව තුළ හිඳිමින් මාදැල් කර්මාන්තයේ නිරත වන ලෙස දෙපාර්තමේන්තුව සියලු මාදැල් හිමියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.