ගංගාරාමයේ ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව සාර්ථකව පැවැත්වීමට විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්

ගංගාරාමයේ ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව සාර්ථකව පැවැත්වීමට විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්
  • SocialShare:

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ පිළිබඳ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පසුගියදා (31) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ පෙබරවාරි 04 සිට 11 දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත් වේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මැදිහත්වීම සහ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ, මෙතෙක් ඉන්දියාවෙන් පිට වැඩම කර නොමැති මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව ශ්‍රී ලංකා ජනතාවට හිමිව ඇති බව මෙම අවස්ථාවට එක් වූ ගංගාරාම විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමි පැවසීය.
රැස්වීමේදී ආරක්ෂාව, රථවාහන සැලසුම්, විදුලිබල හා ජල පහසුකම්, මාර්ග හා ප්‍රවාහන පහසුකම්, කසළ හා සනීපාරක්ෂක සේවා, දන්සැල් සහ බැතිමතුන් සඳහා සංග්‍රහ කටයුතු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. බැතිමතුන්ට පැය 24 පුරා ධාතුන් වහන්සේලා වන්දනා කිරීමට අවස්ථාව සැලසීමටද, ගැබිණි මව්වරුන්, ආබාධිත පුද්ගලයන් සහ විදේශීය සංචාරකයින් සඳහා විශේෂ පහසුකම් සැපයීමටද තීරණය කෙරිණි.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන්, පළාත් පාලන ආයතන නියෝජිතයින්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

මෙම රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරියගේ ප්‍රධානත්වයෙන්ද, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතාගේ සභාපතිත්වයෙන්ද පැවැත්විණි.