නිදහස් දිනය වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

නිදහස් දිනය වෙනුවෙන්  කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්
  • SocialShare:

අභිමානවත් 78 වන ජාතික නිදහස් දින උත්සවය සහ ඒ සඳහා පැවැත්වෙන පෙරහුරු වැඩසටහන් හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කරයි.

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය එළඹෙන 2026 පෙබරවාරි 04 වන දින කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට නියමිතය. එම උත්සවයට සමඟාමීව පූර්ව පෙරහුරු වැඩසටහන් පසුගිය 30 වන දින ආරම්භ වූ අතර අද දිනයේදීත් එම පෙරහුරු පැවැත්වෙන බව පොලිසිය සඳහන් කරයි.

පෙරහුරු පැවැත්වෙන දිනයන් සහ 2026 පෙබරවාරි 04 වන දින නිදහස් උත්සවය මූලික කරගෙන කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම සහ විකල්ප මාර්ග භාවිතයට යොමු කිරීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

අද දිනයේ පෙරහුරු පුහුණුවීම් සඳහා පෙරවරු 07.45 සිට පස්වරු 01.30 දක්වා කාලය තුළ රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කරනු ලබන අතර, 2026 පෙබරවාරි 04 වන දින පෙරවරු 05.00 සිට නිදහස් දින උත්සවය අවසන් වන තෙක්ද කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සීමා ක්‍රියාත්මක වනු ඇත.

එම අනුව නිදහස් මාවත, ස්ටැන්ලි විජේසුන්දර මාවත, බෞද්ධාලෝක මාවත, විජේරාම මාවත, මේට්ලන්ඩ් ක්‍රසන්ට්, හෝර්ටන් පෙදෙස ඇතුළු නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රධාන මාර්ග කිහිපයකට රථවාහන ඇතුළුවීම සීමා කෙරෙනු ඇත.

විශේෂයෙන් 2026 පෙබරවාරි 04 වන දින පෙරවරු 03.00 සිට ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවසන් වන තෙක් මෙම මාර්ගයන්හි ගමනාගමනය සීමා කරන බව පොලිසිය දන්වා සිටියි.

කෙසේ වෙතත්, මෙම දිනවලදී ගමනාගමනය සීමා කරනු ලබන මාර්ගයන්හි පදිංචිකරුවන්ට සහ ආයතනවල රාජකාරී කටයුතු සඳහා අවශ්‍ය ගමන් කිරීමට බාධාවක් නොවන අයුරින් විශේෂ පහසුකම් සලසා ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.