සෞඛ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමති අස්ගිරි සහ මල්වතු මහා නායක හිමිවරුන් බැහැදකී

සෞඛ්‍ය  ඇමති  සහ නියෝජ්‍ය ඇමති අස්ගිරි සහ මල්වතු මහා නායක හිමිවරුන් බැහැදකී
  • SocialShare:

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අද (17) පෙරවරුවේ මහනුවර අස්ගිරි සහ මල්වතු මහා විහාරයන් වෙත පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ සහ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

පළමුව අමාත්‍යවරු අස්ගිරි මහා විහාරයට පැමිණ මහා නායක හිමිවහන්සේ බැහැදැක සුවදුක් විමසීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සහ කාලීන ගැටළු කිහිපයක් පිළිබඳ පුළුල් සාකච්ඡාවක නිරත වූහ. ඉන් අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු මහා නායක හිමිවහන්සේ බැහැදැක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ කරුණු සම්බන්ධයෙන්ද සාකච්ඡා කළහ.

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන සැලසුම්ගත වැඩපිළිවෙළ පිළිබඳව මහනායක හිමිවරුන් දැනුවත් කළ අතර, නව්‍ය සංකල්පයක් ලෙස දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ව්‍යාපෘතිය පිළිබඳව විශේෂ අවධානය යොමු කළේය.

පසුගිය වර්ෂයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” පහ මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, එමඟින් ග්‍රාමීය ජනතාවට සෞඛ්‍ය සේවාවන් කාර්යක්ෂමව ලබාදීමට හැකි වී ඇති බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය. ඒ අනුව ලබන 24 වනදා ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමටත්, මෙම වර්ෂය තුළ මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමටත් සැලසුම් කර ඇති බව ද සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය හරහා බෝ නොවන රෝග වැළැක්වීම මෙන්ම ප්‍රධාන රෝහල්වල රෝගී තදබදය අවම කර ගැනීමට විශාල දායකත්වයක් ලැබෙන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මහනායක හිමිවරුන් ද මෙවැනි කාලීන ව්‍යාපෘති රටේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ඉතා වැදගත් බව සඳහන් කරමින්, ආයුර්වේද ක්ෂේත්‍රයද ඒ සමඟ සම්බන්ධ කරගැනීම ප්‍රශංසනීය බව පෙන්වා දී ව්‍යාපෘතිය සඳහා සිය ආශිර්වාදය පිරිනැමූහ.

එමෙන්ම මහනුවර ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වල වත්මන් තත්ත්වය, අනාගත සංවර්ධන සැලසුම්, කොළඹ ජාතික රෝහල පරිශ්‍රයේ නවීන හෘද රෝහලක් ඉදිකිරීම සහ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ රෝහල් නැවත ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී මහනායක හිමිවරුන් දැනුවත් කෙරිණි.