ආපදාවන්ට එරෙහිව විද්‍යාව - දේශගුණික විපර්යාස හා බැඳී ආපදා සූදානම ශක්තිමත් කිරීමේ ජාතික වැඩසටහන එළි දක්වයි

ආපදාවන්ට එරෙහිව විද්‍යාව -  දේශගුණික විපර්යාස හා බැඳී ආපදා සූදානම ශක්තිමත් කිරීමේ ජාතික වැඩසටහන එළි දක්වයි
  • SocialShare:

දේශගුණික ආතති පරීක්ෂණයක් (Climate Stress Test) ලෙස “දිට්වා” (Ditwah) සුළි කුණාටුවෙන් ලද අත්දැකීම් තේමා කර ගනිමින්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සංවිධාන කළ ආපදාවන්ට එරෙහිව විද්‍යාව: දේශගුණික විපර්යාස හා බැඳී ආපදා සූදානම ශක්තිමත් කිරීමේ ආයතනික පර්යේෂණ අවශ්‍යතා ඇගයීමේ ජාතික වැඩසටහන එළි දැක්වීම ඊයේ (14) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

වර්තමානයේ දී දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන විනාශකාරී බලපෑම් සහිත කාලගුණික සිදුවීම්වලට ශ්‍රී ලංකාව වැඩි වශයෙන් නිරාවරණය වෙමින් පවතින අතර එය සමාජ ආර්ථික ස්ථාවරත්වයට ඉහළ අවදානමක් ඇති කරයි. රට මුහුණ දුන් ආසන්නතම සහ විශාලතම ස්වාභාවික ආපදාවක් වූ ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම ඔස්සේ ලද අත්දැකීම් රටේ ඉදිරි ආරක්ෂාව වෙනුවෙන් විද්‍යාත්මක පර්යේෂණ, තාක්ෂණික සංවර්ධනය සහ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වූ ප්‍රායෝගික ජාතික වේදිකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙම ජාතික වැඩසටහන සැළසුම් කර තිබේ.
වැඩසටහනේ පළමු සැසියේ දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC), වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) එම ආපදා ආපදා කාලසීමාවේදී මුහුණ දුන් මෙහෙයුම් අභියෝග සහ විනාශකාරී බලපෑම් පිළිබඳ විමර්ශනාත්මක විශ්ලේෂණයන් ඉදිරිපත් කෙරිණි.
එසේම සුළි කුණාටුව මගින් ඉහල බලපෑමකට ලක්වූ නුවරඑළිය, මහනුවර, කෑගල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරු ක්ෂේත්‍ර මට්ටමේ මෙහෙයුම් අත්දැකීම් විස්තර කළ අතර මින් ඉදිරියට එවැනි ආපදා අවස්ථාවකදී පූර්ව සූදානමක් තුළින් ජීවිත හා දේපල හානි අවම කරගැනීම පිළිබඳවත් ඒ සඳහා වූ ආයතනික අවශ්‍යතා පිළිබඳව අදහස් ඉදිරිපත් කර ඇත.