විවිධ ජාතීන් සතු අභිමානවත් සංස්කෘතික උරුමයන් සුරැකීම වෙනුවෙන් පෙනී සිටිනවා - නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා

විවිධ ජාතීන් සතු අභිමානවත් සංස්කෘතික උරුමයන් සුරැකීම වෙනුවෙන් පෙනී සිටිනවා - නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා
  • SocialShare:

බුද්ධශාස, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලෙස  මෙරට විවිධ ජාතීන් සතු අභිමානවත් සංස්කෘතික උරුමයන් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින බව ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා පවසයි.

අදට යෙදී  තිබෙන තෛපොංගල් දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ තෛපොංගල් දින සුබ පැතුම් පණිවිඩය පහත දැක් වේ.

දෙමළ හින්දු ජනතාව අතිමහත් භක්තියෙන් සමරනු ලබන උදාර සංස්කෘතික උත්සවයක් වන තෛපොංගල් දිනය නිමිත්තෙන් සමස්ත ලාංකික හින්දු ජනතාව වෙත මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

තෛපොංගල් යනු හුදෙක් ආගමික උත්සවයක් පමණක් නොව, එය ස්වභාවධර්මයට සහ සතා සීපාවාට කෘතවේදීත්වය පළ කරන උතුම් සංස්කෘතික මංගල්‍යයකි. අස්වැන්න සරු කර ගැනීමට උපකාරී වූ සූර්යයාටත්, ගව පරපුර ඇතුළු ස්වභාවධර්මයටත් ස්තූති කිරීම තුළින් මිනිසා සහ සොබාදහම අතර පවතින නොබිඳෙන සබඳතාවය මැනවින් පිළිබිඹු වේ. "තෛ මාසය උපදින විට මග පෑදේ" යන්න හින්දු ජනතාවගේ විශ්වාසයයි.

බුද්ධශාස, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලෙස අප නිරන්තරයෙන් පෙනී සිටින්නේ මෙරට විවිධ ජාතීන් සතු අභිමානවත් සංස්කෘතික උරුමයන් සුරැකීම වෙනුවෙනි. තෛපොංගල් උත්සවය හරහා ප්‍රදර්ශනය වන සාමූහිකත්වය, බෙදාහදා ගැනීම සහ සමානාත්මතාවය වැනි ගුණාංග අපේ රටේ ජාතික සමගිය ශක්තිමත් කිරීමට ඉමහත් පිටුවහලක් වේ. උතුරා යන පොංගල් කිරි බත මෙන්ම අප සැමගේ හදවත් තුළ ද සාමය සහ සහෝදරත්වය ඉතිරී යා යුතු කාලය මෙයයි.

අද අප රටක් ලෙස නව ගමනක් ආරම්භ කර ඇති මොහොතක, කෘෂිකාර්මික අභිමානය සහ ස්වයංපෝෂිත ආර්ථිකයක් පිළිබඳ අපේක්ෂාවන් දල්වන මෙවැනි උත්සව ඉතා කාලෝචිත වේ. සියලු භේදයන් පසෙකලා එකම ශ්‍රී ලාංකික දැයක් ලෙස නැගී සිටීමටත්, වඩාත් සෞභාග්‍යමත් අනාගතයක් උදෙසා කැපවීමටත් මෙම තෛපොංගල් උත්සවය අප සැමට ආදර්ශයක් සපයයි.

පීඩාවට පත් ජනතාව ඇතුළු සමස්ත ප්‍රජාව වෙතම සතුට, සෞභාග්‍යය සහ සෞභාග්‍යයේ ආශිර්වාදය ගලා එන සුබ තෛපොංගල් දිනයක් වේවායි මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.