පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන රැසක් හානියට පත්වූ අතර, එම ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම ඉන්දීය රජය මගින් ලබාදුන් ඇමරිකන් ඩොලර් මිලියන පහක මූල්‍ය ප්‍රදානය යොදාගනිමින් ඇරඹේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝශ් ජා මහතා ඇතුලු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (2026.01.11) මහව හන්දිය ප්‍රධාන දුම්රිය ස්ථානයේදී නිල වශයෙන් මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණ.
2019 සහ 2024 වර්ෂවලදී අදියර දෙකක් යටතේ මෙම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මීට පෙර ආරම්භ කර තිබූ අතර, කිලෝමීටර් 370 ක දිගකින් යුතු මෙම දුම්රිය මාර්ගයේ පවතින අඩුපාඩු සකසමින්, ගමන් කාලය අඩු කරමින් වේග සීමාව පැයට කිලෝමීටර් 100 දක්වා වැඩි කිරීම ඉලක්ක කොට ගෙන නවීන සංඥා පද්ධති, පාලම් සහ වන අලි මාරු වීම වෙනුවෙන් උමං මාර්ග ද ස්ථාපිත කර වැඩි දියුණු කිරීම මෙම ව්‍යෘපෘති යටතේ සැලසුම් කර තිබිණ.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් ජනවාරි 19 වන දින සිට මාර්තු 31 දින දක්වා මහව - අනුරාධපුර දුම්රිය ධාවනය සිදු නොවන අතර, අනුරාධපුර සිට කන්කසන්තුරය දක්වා දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරේ. අප්‍රේල් මාසයේ සිට සමස්ත උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට සහභාගි වූ ජනතාව ඇමතූ බිමල් රත්නායක අමාත්‍යවරයා :
‘මහව මංසන්දිය අපේ රටේ දුම්රිය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්. දිට්වා ව්‍යසනය ඇතිවී දින 45 ක් ගතවීමටත් පෙර මහව, ඕමන්ත, මැදවච්චිය, මන්නාරම දුම්රිය මාර්ග පිළිසකර කිරීම් ආරම්භ කරන්න ආණ්ඩුවට හැකිවුනා. ඉන්දියානු ආධාර හරහා ඉදිරි වැඩ ලෙස සිදු කිරීමට නියමිතව ඇති පාලම් පහක් සහ වන අලි මාරුවීම සඳහා වූ උමං මග විධිමත්ව ඉදි කරනවා. ප්‍රතිසංස්කරණ හේතුවෙන් දුම්රිය මගී ප්‍රජාවට සිදුවන අපහසුතා මගහැරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය මගින මහව සිට නව ප්‍රවාහන සේවාවක් ලබාදීම කෙරෙහි අධ්‍යනය කරනවා. ජාතික ජන බලවේගයේ අපි කියන දේ කරන ආණ්ඩුවක්. අපි ජනතාවට දුන් ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව වැඩ කරන ආණ්ඩුවක්. අපිට තියන්නේ ජනතාවගේ ෆ්ලැට්ෆෝර්ම් එක. ආණ්ඩුව ජනතාව කෙරෙහි සැලකිලිමත් වෙනවා. මගීන් කෙරෙහි සැලකිලිමත් වෙනවා. ජනාධිපතිතුමා දිට්වා ව්‍යසනයේදී පෙන්වූ ආදර්ශය එයයි. ජන සහභාගීත්ව තිරසර සංවර්ධනයක් සඳහා රජය නිරන්තරයෙන් කැප වෙනවා.’
මෙම අවස්ථාවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා හේරත්, දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුලු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.


