රට තුළ හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එය කළමනාකරණයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ වන විටත් ක්‍රියාත්මකව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ අද (08) පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ජනතාවගෙන් ලැබෙන හදිසි ඇමතුම් ලබාගැනීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකතන මධ්‍යස්ථානය සූදානම් කර ඇතැයිද වැඩිදුරටත් පැවසුවේය. ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන් සම්බන්ධීකරණය කරගැනීම සඳහා හදිසි ආපදා මෙහෙයුම් මැදිරිය සූදානම් කර ඇතැයිද අවධාරණය කළේය.
දිස්ත්‍රික්කවල පවත්නා ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක දැනුවත් කර ඔවුන් මගින් ග්‍රාම නිලධාරී වසම් දක්වා සියලුම පාර්ශවකරුවන් අමතා දැනුවත් කිරීම් සිදුකර සූදානම් කර ඇතැයිද පැවසුවේය. එමෙන්ම ජනතාවට හදිසි අවස්ථාවකදී සහාය ලබාදීමට ත්‍රිවිධ හමුදාව සූදානමින් සිටින බවද, යුධ හමුදාවේ සෙවීම් සහ මුදවා ගැනීම් කණ්ඩායම් අසූවක් ස්ථානගත කර ඇතැයිද සඳහන් කළේය.
ඊට අමතරව ඩිංගි යාත්‍රා, ඩබ්ලියු ඉසෙඩ් රථ, බී ටී ආර් රථ, යුනි බෆල්, යුනිකෝම් රථ වැනි ගංවතුර තත්ත්වයකදී ගමන් කළ හැකි වාහන සූදානම් කර ඇතැයිද, නාවික හමුදාව විශේෂ සෙවීම් මුදවා ගැනීම් කණ්ඩායම් 16ක් යොදවා ඇතැයිද පැවසුවේය.
ගුවන් හමුදාව මුදවා ගැනීම් කණ්ඩායම් 66ක් සූදානම් කර ඇතැයිද ඒ අතරම හිඟුරක්ගොඩ, රත්මලාන, පාලවි, වීරවිල යන ගුවන් කඳවුරු වලින් ගුවන්ගත වීමට හැකිවන පරිදි හදිසි අවස්ථාවකදී ජනතාවට උදවු කිරීමට ගුවන් යානා ස්ථානගත කර ඇතැයිද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොලීසිය සාමාන්‍ය පොලීසියට අමතරව විශේෂ 23ක මුදවාගැනීම් කණ්ඩායම් සූදානම් කර ඇතැයිද, සිවිල් ආරක්ෂක බලකාය කණ්ඩායම් 28ක් දිස්ත්‍රික්ක 25 පුරාම මෙම තත්ත්වයට මුහුණ දීමට සූදානම් කර ඇතැයිද පැවසුවේය.
දිවයිනේ ආපදා කළමනාකරණයට සම්බන්ධ සියලුම ආයතන සහ පාර්ශවකරුවන් දැනුවත් කර ඇතැයිද ඔවුන් සියලුදෙනාම හදිසි අවස්ථාවකදී ජනතාවට සහාය වීමට සහ ආපදා තත්ත්වයක් ඇති වුවහොත් එය කළමනාකරණය කිරීමට සූදානමින් සිටින බවද අවධාරණය කළේය.
වර්තමාන කාලගුණ තත්ත්වයත් සමග උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විභාග අංශය සමග සාකච්ඡා කර ඔවුන්ව දැනුවත් කර මේ පිළිබඳ තීරණයකට ඒමට බලාපොරොත්තු වන බවද එලෙස තීරණයක් ලබාගත් පසු අනිවාර්යයෙන්ම ජනතාව දැනුවත් කිරීමට ක්‍රියා කරන බවද වැඩිදුරටත් පැවසුවේය.


