ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ඇත.
අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වලට අනුව, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,033.9 ක් දක්වා ඉහළ ගොස් ඇත. එය 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 43.83% ක කැපී පෙනෙන වර්ධනයකි.
මෙම වර්ධනයට ප්‍රධාන සාධක ලෙස පොල් ගෙඩි පිටරට පැටවීම වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන (Value-added products) කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වැනි කරුණු බලපා ඇත.
දියරමය පොල් කිරි, වර්ජින් පොල් තෙල්, පොල් ක්‍රීම්, විජලනය කළ පොල් (DC), ඇක්ටිවේටඩ් කාර්බන් (Activated Carbon) සහ කොකෝ පීට් (Coco Peat) වැනි නිෂ්පාදන සඳහා ඉහළ ගෝලීය ඉල්ලුමක් නිර්මාණය වී ඇත. මේ වන විට මෙරට සමස්ත අපනයන ප්‍රමාණයෙන් 7.2% ක්ම නියෝජනය කරනු ලබන්නේ පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්ය.
අනාගත ඉලක්ක සහ තිරසාර වර්ධනය රජයේ ඉදිරි සැලසුම් අනුව 2030 වසර වන විට පොල් ක්ෂේත්‍රයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක අපනයන ආදායමක් ලබා ගැනීමට ඉලක්ක කර ඇත.
මේ සඳහා දීර්ඝකාලීන පියවරක් ලෙස "උතුරු පොල් ත්‍රිකෝණය" ස්ථාපිත කර ඇති අතර, එහි අක්කර 16,000 ක් ද ඇතුළුව සමස්තයක් ලෙස අලුතින් පොල් අක්කර 36,000 ක් වගා කිරීමේ කටයුතු සැලසුම් කර තිබේ.
මෙම සාර්ථකත්වයට පොල් කර්මාන්තකරුවන්ගේ සමූහ අධිෂ්ඨානයත්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතනවල සම නායකත්වයත් , උත්සහයත් විශේෂයෙන්ම දේශීය නාස්තිය අවම කර අපනයන වෙත පොල් යොමු කිරීමේ විද්‍යාත්මක අවශ්‍යතාව තේරුම් ගත් ශ්‍රී ලංකා ජනතාවගේ සහයෝගයත් වැදගත් විය.


