රට පුරා හඳුන්වාදෙන නව්‍ය ඩිජිටල් විසඳුම් යටතේ, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සඳහා නව ව්‍යාපෘති වැඩසටහනක් අද (01) ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙනු ලැබීය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකත්වය මත ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය, ප්‍රවාහන සේවාව තවත් ශක්තිමත් කිරීම, විනිවිදභාවය වැඩිදියුණු කිරීම සහ මගීන්ට පහසු සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් ආරම්භ කර ඇත.
විද්‍යුත් කාඩ්පත් හරහා බස් ගාස්තු ගෙවීමේ නියමු ව්‍යාපෘතිය අද දින මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේදී, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු සජීව කනගරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම නව ක්‍රමවේදය යටතේ, විද්‍යුත් කාඩ්පත් භාවිතයෙන් බස් ගාස්තු ගෙවීමේදී මගීන්ගෙන් කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරෙන අතර, නියමිත ගාස්තුව පමණක් ගෙවීමට හැකි වනු ඇත. එමඟින් මගීන්ට අමතර මුදල් වැයවීමක් සිදු නොවන බවද සඳහන් වේ.
නව පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී හඳුනා ගන්නා ප්‍රබලතා සහ දුර්වලතා අනුව, මෙම කාඩ්පත් ගෙවීම් ක්‍රමය ඉදිරියේදී තවදුරටත් සංවර්ධනය කිරීමට රජය අපේක්ෂා කරයි.
මෙම නියමු ව්‍යාපෘතිය අද සිට මාකුඹුර – ගාල්ල සහ මාකුඹුර – ඇඹිලිපිටිය යන මාර්ග කිහිපයක ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී රට පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු සජීව කනගරත්න මහතා, ඩිජිටල් අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා, මහජන බැංකුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.


