සිත්රූ 2025 - ආබාධ සහිත පුද්ගලයන්ගේ කලා සංස්කෘතික හැකියාවන් ඔප්නැංවීමට වේදිකාවක්

සිත්රූ 2025 - ආබාධ සහිත පුද්ගලයන්ගේ කලා සංස්කෘතික හැකියාවන් ඔප්නැංවීමට වේදිකාවක්
  • SocialShare:

ආබාධ සහිත පුද්ගලයන්ගේ කලා සංස්කෘතික හැකියාවන් ඔප්නැංවීම සඳහා සිත්රූ නමින් ජාතික සංස්කෘතික ප්‍රසංගයක් අගෝස්තු 05වනදා සවස 01.30ට නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

මෙම ආබාධ සහිත පුද්ගලයින්ගේ කලා සංස්කෘතික උළෙලට ජනාධිපතිතුමා ප්‍රධානත්වය දරන බවද මෙම උළෙල විශේෂයෙන්ම සංවිධානය කරන්නේ ආබාධ සහිත පුද්ගලයින්ට ඔවුන්ගේ හැකියාවන් ඔප්නැංවීමට අවශ්‍ය පදනම සකස් කිරීම සඳහා බවද පෙන්වා දුන්නේය.

මෙම වැඩසටහන මෙම වසරේ මුල ආරම්භ කර දිස්ත්‍රික්ක මට්ටමෙන් මෙන්ම පළාත් මට්ටමෙන් තරඟ සංවිධානය කළ බවද එමෙන්ම ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන්ම වූ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සහ අනෙකුත් මධ්‍යස්ථාන මට්ටමෙන් තරග පවත්වා ඔවුන්ගේ හැකියාවන් එළිදැක්වීමට අවස්ථාවක් නිර්මාණය කළ බවද පැවසුවේය.

මෙම සියලු තරගාවලීන් වලින් ජයග්‍රහණය කළ 384කට ආසන්න ප්‍රමාණයක් ආබාධ සහිත පුද්ගලයින් මේ අගෝස්තු 05 වෙනිදා පවත්වන සිත්රූ ජාතික කලා සංස්කෘතික උළෙලේදී සිය හැකියාවන් එළිදක්වන බවද අවධාරණය කළේය.

මෙරට ලක්ෂ 18කට ආසන්න ආබාධ සහිත පුද්ගලයින් ප්‍රමාණයක් ජීවත් වන බවද මෙම සියලු පුද්ගලයින් අපේ රටේ සාමාන්‍ය ජනතාව මෙන් අනෙකුත් ජනතාව සමග අන්තර්කරණය කළ යුතු බව වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවද පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට සහභාගී වන ලෙසද මෙම අවස්ථාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසද ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.