ධීවර කර්මාන්තය යළි ගොඩනැගීමට පුළුල් ප්‍රතිසාධන සැලැස්මක්

ධීවර කර්මාන්තය යළි ගොඩනැගීමට පුළුල් ප්‍රතිසාධන සැලැස්මක්
  • SocialShare:

මෑතදී ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ධීවර ක්ෂේත්‍රයට සිදු වූ හානියේ මූලික ඇස්තමේන්තුව රුපියල් මිලියන 7,649 ඉක්මවා ඇතැයිද ඊට ප්‍රතිචාර වශයෙන්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, කර්මාන්තය යළි ගොඩනැගීම සඳහා ක්ෂණික සහන සහ දීර්ඝකාලීන සහයෝගය ලබා දීමේ පුළුල් ප්‍රතිසාධන සැලැස්මක් ප්‍රකාශයට පත් කළේය.

ඊයේ (23) විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

මෙහිදී ධීවර අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ එක්ව, සිදු වූ විනාශයේ තරම පිළිබඳව කරුණු පැහැදිලි කළේය. ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගයක් වන ජලජීවී වගා ක්ෂේත්‍රයට රුපියල් මිලියන 5,850ක දැවැන්තම අලාභයක් සිදුව ඇති බවද එයින් ප්‍රධාන වශයෙන් විසිතුරු මසුන්, ඉස්සන් සහ මුහුදු කූඩැල්ලන් කර්මාන්තවලට බලපෑම් එල්ල වී ඇතැයිද පෙන්වා දුන්නේය . කරදිය ධීවර ක්ෂේත්‍රයේ අලාභය රුපියල් මිලියන 1,799ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

වැඩිදුරටත් අදහස් දැක්වූ ධීවර අමාත්‍යවරයා,

"අපේ ජාතිය දැවැන්ත ස්වභාවික විපතකට මුහුණ දුන්නත්, අපේ ජනතාවගේ, විශේෂයෙන්ම ධීවර ක්ෂේත්‍රයේ නියුතු අයගේ නොසැලෙන අධිෂ්ඨානය අපට බලාපොරොත්තුවක් ගෙන දෙනවා," යැයි අමාත්‍ය චන්ද්‍රසේකර් මහතා පැවසීය. "මේ රජය කැපවී සිටින්නේ අහිමි වූ දේ නැවත ලබා දීමට පමණක් නොව, මෙම කර්මාන්තය පෙරටත් වඩා ශක්තිමත්, දියුණු තත්ත්වයකට ගොඩනැගීමටයි. අපේ අමාත්‍යාංශය නිකුත් කළ පූර්ව අනතුරු ඇඟවීම්, මීට වඩා විශාල ජීවිත හානියක් වළක්වා ගැනීමට ඉවහල් වූ බවත් කිව යුතුයි."

ජනාධිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව, පහත සඳහන් පුළුල් ප්‍රතිසාධන සැලැස්ම ප්‍රකාශයට පත් කරන ලදී.

සම්පූර්ණයෙන්ම විනාශ වූ බහුදින සහ එක්දින (I-Day) යාත්‍රා 13 සඳහා, ඔවුන්ට හිමි රක්ෂණ වන්දියට අමතරව, රජය විසින් හඳුන්වා දී ඇති අඩු පොලී ණය යෝජනා ක්‍රම වෙත යොමු කර, තමන් කැමති ස්ථානයකින් නව යාත්‍රාවක් ඉදිකර ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.

අනෙකුත්, සම්පූර්ණයෙන්ම විනාශ වූ සියලුම කරදිය යාත්‍රා සඳහා, රක්ෂණ වන්දි මුදල සී-නෝර් ආයතනය වෙත යොමු කිරීමෙන් පසු, එම ආයතනය මගින් නව යාත්‍රාවක් ලබා දීමට කටයුතු යොදා ඇත.

අර්ධ වශයෙන් හානි වූ සියලුම යාත්‍රා (කරදිය සහ මිරිදිය), එම ස්ථානවලදීම සී-නෝර් ආයතනය මගින් රජයේ වියදමින් නොමිලේ අලුත්වැඩියා කිරීමට පියවර ගෙන ඇත.

ධීවර ආම්පන්න සඳහා සහාය: දැල් විනාශ වූ කරදිය ධීවරයින් 1,205 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂයක් දක්වා වටිනා වවුචරයක් ද, මිරිදිය ධීවරයින් 6,000කට ආසන්න පිරිසක් සඳහා රුපියල් 75,000ක් දක්වා වටිනා ආධාරයක් ද ලබා දීමට නියමිතය.

කුඩා පරිමාණ ඉස්සන් ගොවීන්ට පළමු කන්නය සඳහා අවශ්‍ය පසු-කීටයින් (PLs) නොමිලේ ලබා දේ. හානියට පත් වැව් 699ක මත්ස්‍ය ගහනය, වාර දෙකක් දක්වා නැවත ස්ථාපිත කිරීමටත්, විසිතුරු මසුන් නිෂ්පාදකයින්ට නව මව් සතුන් ලබා දීමටත් නැක්ඩා ආයතනය කටයුතු කරයි.

විශේෂයෙන්ම දැඩි හානියට පත්, ඉස්සන් සහ විසිතුරු මසුන් වැනි අපනයන කර්මාන්තවල නිරත මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපාර (සැකසුම් මධ්‍යස්ථාන, අයිස් කර්මාන්තශාලා) යළි ගොඩනැගීම සඳහා, රාජ්‍ය බැංකු හරහා අඩු පොලී ණය යෝජනා ක්‍රම සඳහා යොමු කිරීමට අමාත්‍යාංශය කටයුතු කරයි.