ප්‍රංශ සෙනට් සභාවේ සාමාජික සමන්තා කැසබෝන් (Samantha Cazebonne) මහත්මිය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගිය දා (16) පාර්ලිමේන්තුවේදී හමු විය.
මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් (Rémi Lambert) මහතා ඇතුලු ප්‍රංශයේ නියෝජිත පිරිසක් සහභාගී වූහ.
මෙහිදී ප්‍රථමයෙන් අදහස් දක්වමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අයහපත් වූ කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් විශාලතම අපදා තත්ත්වයට මුහුණ දී යථා තත්ත්වයට නැවත පිවිසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින් කඩිනමින් ගනිමින් සිටින බව පැවසුවේය. එමෙන්ම මෙම අපදා තත්ත්වය හේතුකොටගෙන ශ්‍රී ලංකාවට ප්‍රංශ රජය විසින් ලබාදෙන සහයෝගයට කථානායකවරයා සිය ස්තුතිය පුද කළේය.
මෙම ආපදාව හමුවේ ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතු භාවය නැවත වරක් ලොවට විදහා දක්වන ලද බවද කථානායකවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රංශ නියෝජිත පිරිසට පැවසුවේය. එමෙන්ම “ Rebuild Sri Lanka ” වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා ජාත්‍යන්තරයේ සිටින පිරිස්වලටද අවස්ථාව උදාවී තිබෙන බවද කථානායකවරයා පැවසීය.
ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර දිගුකාලයක සිට පවතින මිත්‍රත්වය සිහිපත් කළ කථානායකවරයා 2023 වසරේදී ප්‍රංශ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිදුකළ නිල සංචාරයෙන් එම මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වූ බවද පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රංශ සෙනට් සභාවේ සාමාජික සමන්තා කැසබෝන් (Samantha Cazebonne) මහත්මිය මෙරට ඇතිවූ හදිසි අපදා තත්ත්වය පිළිබඳව සිය සංවේගය ප්‍රකාශ කළ අතර ප්‍රංශ රජයේ සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන බව ද පැවසුවාය. ප්‍රංශය, යුරෝපා සංගමය සමග එක්ව ශ්‍රී ලංකාවට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීමට මේ වනවිටත් කටයුතු කර ඇතැයිද ප්‍රංශ රජය විසින් ලබාදෙන අනෙක් මානුෂීය ආධාර ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බවද ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.
තවද ශ්‍රී ලංකාවේ පුරවැසියන් තුළ ඉහළ මානුෂීය ගුණාංග පවතින බව මෙහිදී පෙන්වා දුන් ප්‍රංශ සෙනට් සභාවේ සාමාජික සමන්තා කැසබෝන් මහත්මිය ඒ ඔස්සේ මෙරට සංචාරක ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනය කළ හැකි ආකාරය පෙන්වා දුන්නාය.
එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රංශ ජාත්‍යන්තර පාසල තවදුරටත් ශක්තිමත් කරමින් එය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ඇය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියාය. ඊට පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා අධ්‍යාපන අමාත්‍යංශයට එම ඉල්ලීම සලකා බැලීම සඳහා ඉදිරිපත් කරන බව සඳහන් කළේය.
තවද මෙරට සමාජයේ කාන්තාවන් පිළිබඳව සාමාජයේ පවතින ආකල්ප පිළිබඳවද ප්‍රංශ සෙනට් සභාවේ සාමාජික සමන්තා කැසබෝන් මහත්මිය විමසීමක් කළාය. ඊට පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා ශ්‍රී ලංකාව තුළ කාන්තාව පිළිබඳව යහපත් වූ ආකල්ප පවතින බවත් කාන්තාවන්ට ශක්තිමත්ව ඉදිරියට පැමිණීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් පැවසුවේය. එමෙන්ම ප්‍රථම වරට කාන්තාවන් සඳහා වූ ස්වාධීන කොමිෂන් සභාවක්ද ස්ථාපිත කොට ඇති බව වැඩි දුරටත් අදහස් දක්වමින් කථානායකවරයා පැවසුවේය.
මෙහිදී ප්‍රංශ සෙනට් සභාවේ සාමාජික සමන්තා කැසබෝන් මහත්මිය විසින් 2026 වර්ෂයේ පැරිසියේ පැවැත්වීමට නියමිත ගෝලීය සාම සමුළුවට සහභාගි වීමටත්, ප්‍රංශයේ සංචාරයක නිරත වීමටත් කථානායකවරයාට ආරාධනා කළාය. එමෙන්ම ප්‍රංශ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය හා පාර්ලිමේන්තු ක්‍රමවේද නිරීක්ෂණය කිරීමටත් ආරාධනා කළ එම මහත්මිය එය ප්‍රංශයේ ව්‍යවස්ථාදායක සම්ප්‍රදායන් සෘජුවම දැක බලා ගැනීමට ලැබෙන වටිනා අවස්ථාවක් වනු ඇති බවත් පැවසුවාය.


