ආපදාවෙන් විපතට පත්ව ගොඩනැගෙන රටට අවිශ්වාසයක් ඇති නොකරන ලෙස කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මෙම සුළි කුණාටුව සම්බන්ධව තොරතුරු නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අවශ්‍ය තරම් දත්ත, තොරතුරු සමාජයේ පවතින බව පැවසූ අමාත්‍යවරයා නොවැම්බර් 13 සිට 18 දක්වා කැළඹිලි සහගත තත්ත්වයක් ඇතිවී එය අඩුපීඩන කලාපයක් දක්වා පමණක් වර්ධනය වී ඉවතට යාමත්, 20 වෙනිදා ඇරඹී 26, 27 දෙදින මැලේසියාව, ඉන්දුනීසියාව සහ සුමාත්‍රා වලට බලපෑ සෙන්යා සුළි කුණාටුවත් 24න් පසු වර්ධනය වූ දිට්වා සුළි කැණාටුවත් යන පද්ධති 03ම පටලවාගෙන ඇති බව පැවසුවේය.
ඒ සම්බන්ධව විවිධ අවස්ථා වල සහ විවිධ ස්ථාන වල කාලගුණ විද්‍යාඥයින් පළ කළ අදහස් එක පෙළට ගනිමින් ඇතමුන් වැරදි චිත්‍රයක් මැවීමට උත්සාහ ගන්නා බවද එමගින් ඔවුන් හානි කිරීමට උත්සාහ ගන්නේ ආපදාවෙන් විපතට පත්ව ගොඩනැගෙන රටට බවද අවධාරණය කළේය.
ඔවුන් මෙමගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ එහි නිලධාරීන් සම්බන්ධයෙන් අවිශ්වාසයක් සාදන බවද, රටක් හැටියට එකතු වී මෙම ව්‍යසනයෙන් ගොඩ ඒමට උත්සාහ කිරීමේදී සහ ජාත්‍යන්තරය අපට ආපදාවෙන් යළි ගොඩ ඒමට ආධාර කරන අවස්ථාවක ඒ වෙනුවෙන් මහන්සි වන රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳව අවිශ්වාසයක් සෑදීමට උත්සාහ කරන බවද එම ක්‍රියාව සිදු නොකරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
චෝදනාවක් එල්ල කිරීමට අවැසි නම් අධිකරණයට යන ලෙස පැවසූ අමාත්‍යවරයා අධිකරණයේදී පුවත් සංස්කරණය කරමින් පළකළ අය සහ ව්‍යාජ පුවත් ප්‍රචාරය කරමින් ජනතාව අතර කැළඹීමක් සෑදීමට උත්සාහ කළ අය යන සියලු පාර්ශවයන් මෙමගින් අධිකරණය ඉදිරියට රැගෙන ආ හැකි බවද වැඩිදුරටත් පැවසුවේය.


