ආපදාවකදී ලබා දෙන වැඩිම සහනය ලබා දී තිබෙනවා - කඩිනමින් වගා කටයුතු අරඹන්න

ආපදාවකදී ලබා දෙන වැඩිම සහනය ලබා දී තිබෙනවා - කඩිනමින් වගා කටයුතු අරඹන්න
  • SocialShare:

ආපදාවකදී කෘෂිකර්මාන්තයට ලබා දෙන වැඩිම සහනාධාරය ලබා දී තිබෙන බවත්, ගොවි ජනතාව කඩිනමින් වගා කටයුතු ආරම්භ කරන ලෙසත්  කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තුෂාර වික්‍රමාරච්චි මහතා පවසයි.
ඊයේ(08) ගොවිජන මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ආපදාවකදී කෘෂිකර්මාන්තයට කිසිදු කලක මෙවැනි සහනාධාරයක් ලබා නොදුන් බව පෙන්වා දුන් ඒ මහතා, අවශ්‍ය සහාය රජය ලබා දෙන බැවින් , එළඹෙන දෙසැම්බර් මස 20 වැනි දින වනවිට නැවත වගා කටයතු සඳහා එක්වන්නැයි ගොවිජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

වගා කටයුතු සඳහා අවශ්‍ය බීජ හිඟයක් නොමැති බවත්, හෙක්ටයාර 60,000ක පමණ ප්‍රමාණයක් සඳහා බීජ වී රජය සහ පෞද්ගලික ආයතන සතුව පවතින බවද ඒ මහතා පැවසීය. හැකිනම් කෙටි කාලීන වී වර්ග සඳහා යොමු වන ලෙසත්, එසේම වෙළඳපොළේ කීරි සම්බා සහ සම්බා සහල්වල හිඟයක් පවතින බැවින් නැවත වගා කිරීමේදී එම වර්ග වගා කිරීම සඳහා වැඩි අවධානයක් දෙන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය. ගොවි ජනතාවට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානම් බවද කීය.
මෙම ආපදා තත්වය හමුවේ වී වගාවට වඩා වැඩි හානියක් අතිරේක බෝග සහ එළවළු සඳහා සිදුවී ඇති බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලු කෘෂිකර්ම ආයතන හා සම්බන්ධ වෙමින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් පෙන්වා දුන්නේය.
නැවත වරක් ගොවියා වගා බිමට ගෙන ඒමට අභිප්‍රේරණයක් සිදු කළ යුතු බවත් , ඒ සඳහා කෘෂිකර්මාන්තයට සම්බන්ධ සියලු නිලධාරීන්ට වගා බිමට ගොස් ගොවීන් සමග සාකච්ඡා කර ඔවුන් අභීප්‍රේරණය කරන ලෙසට කෘෂිකර්මාන්තයට සම්බන්ධ සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් හෙතෙම පැවසිය.
ආපදාවකදී කෘෂිකර්මාන්තයට කිසිදු කාලයක මෙවැනි සහනාධාරයක් ලබා නොදුන් බව පෙන්වා දුන් ඒ මහතා ගොවිජනතාව තනි වී නොමැති බවත් , රජය සහ සියලු නිලධාරීන් ඔවුන් සමග සිටින බැවින් දෙසැම්බර් මස 20 වැනි දින වනවිට නැවත වගා කටයතු සඳහා එක්වන ලෙස ඒ මහතා ගොවිජනතාවගෙන් ඉල්ලීමක් කළේය.හානියට පත් වගාවන් ඊළඟ කන්නයේදී වගා කිරීමට සූදානම් කර ගන්නා ලෙසත්, රොන්මඩ සහ වැලි පිිරී ඇති වී වගාවන්ට වතුර හරවා එ්වා සෝදා හැරීමට කටයුතු කරන ලෙසත්, වැඩි වතුර බැස යාමට කානු පද්ධති සකස් කිරීමට පියවර ගන්නා ලෙසත් පවසන ඒ මහතා ජලයෙන් යටවූ වගාවන් සඳහා යූරියා කිලෝග්‍රෑම් 10ක් සහ පොටෑෂ් කිලෝග්‍රෑම් 10ක් අමතර ලෙස වගාවට යොදන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන බවත් වැඩිදුරටත් පැවසීය.
එසේම එළවළු වගාවන්වලින් සියයට 40 ක් පමණ විනාශ වී ඇති බව පෙන්වා දෙන ඒ මහතා කඩිනමින් ජලය කපා හැර ජලවහනය දියුණු කර වගාවන් බේරාගැනීමට උත්සහ කරන ලෙසත් කෙටිකාලීන භෝගවගාවන් සඳහා යොමුවීමට අවශ්‍ය බීජ වර්ග සඳහා එම බීජ නිෂ්පාදනය කරන රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමග මේ වන විට සාකච්ඡා කර ඇති බැවින් හිඟයක් ඇති නොවී අවශ්‍ය යෙදවුම් ප්‍රදේශවලට ප්‍රවාහනය කර දෙන බවද හෙතෙම සඳහන් කළේය.
ගොවි සහනාධාරය දෙසැම්බර් මස අවසන් වීමට ප්‍රථම ලබා දීමට කටයුතු කර ඇති බැවින් සියලුම ගොවීන් අදාළ අයදුම්පත් කෘෂිකර්ම නිලධාරීන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙසත් ගොවීන් නැවත වගාවකට යා යුතු බවත් රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කළයුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතන කිහිපයක් ආපදාවට ලක් වු බව පවසන ඒ මහතා එම ආයතන මේ වනවිට කඩිනමින් යථා තත්වයට පත් කෙරෙමින් පවතින බවද සඳහන් කළේය. එසේම 1920 දුකරතන අංකය ලබන සතියේදී ක්‍රියාත්මක කෙරෙන බවත් තොරතුරු ඒකකය සහ පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
හානි නොවූ නැවත වගා කරන ඉඩම් සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බැවින් සෑම පළාත් සභාවකම ගෙවතු වගාවන් සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති බවද කීය.එසේම හානි නොවු වගාවන් සඳහා ද සහන ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඒ මහතා අවධාරණය කළේය.