සංචාරකයන්ට නැවතත් ශ්‍රී ලංකාව විවෘතයි

සංචාරකයන්ට නැවතත් ශ්‍රී ලංකාව විවෘතයි
  • SocialShare:

ලොව පුරා විසිරී සිටින සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් පැවති ආපදා තත්වය හේතුවෙන් බිඳවැටුණු සංචාරක කර්මාන්තය යථා තත්වයට පත් වී ඇති බැවන් බාධාවකින් තොරව සංචාරය කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සූදානම් බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ , අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

දිවයිනට බලපෑ ආපදා තත්වයෙන් පසුව සංචාරක කර්මාන්තය නැවත යථා තත්වයට පත් කිරීමට හැකිවූ බවත් කිසිදු සංචාරකයකු බරපතල ව්‍යසනයන්ට මුහුණ නොදුන් බවත් සියලු දෙනා නිරුපද්‍රිතව සිය සංචාරයන් නිමා කළ බවත්
ඒ මහතා එහිදී සඳහන් කළේය.

එසේම සංචාරකයන්ට නැවත සිය රටවල් බලා ගමන් කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සැපයූ බව පෙන්වා දුන් ඒ මහතා මේ වනවිට සංචාරක ගමනාන්ත සියල්ලටම පිවිසීමට එක් මාර්ගයක් හෝ විවෘතව ඇති බව පෙන්වා දුන්නේය.
තවද සියලු සංචාරක ආකර්ෂණ ස්ථාන, හෝටල් මෙන්ම සංචාරකයන් පැමිණෙන ස්ථාන සියල්ල මේ වනවිට විවෘතව පවතින බවද හෙතෙම කියා සිටියේය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතන වනජීවී වනෝද්‍යාන , සංස්කෘතික ත්‍රිකෝණය යටතේ පවතින සීගිරිය ඇතුලු සංස්කෘතික ස්ථාන , තල්මසුන් නැරඹීමේ වෙරළ තීරයන් වන මිරිස්ස වැනි ප්‍ර දේශයන් සියල්ල මේ වනවිට වවෘතව ඇති බව සඳහන් කරන ඒ මහතා මෙ වනවිටත් දිවයිනට සංචාරකයන් පැමිණෙන බව සඳහන් කළේය.