අවතැන් වූ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සේවා සැපයීමට සෑම පොලිස් ස්ථානයකම විශේෂ ඒකකයක් පිහිටුවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි.
දිවයිනේ පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් අද(28) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු දින සහ විවේක දින නිවාඩු අවලංගු කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
යම් නිලධාරියෙකුට පවතින ආපදා තත්ත්වය හමුවේ අනුයුක්ත කර ඇති පොලීසියට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොහැකි නම් ළඟම ඇති පොලීසියට රාජකාරී සඳහා වාර්තා කරන්නැයිද ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
හදිසි ආපදා තත්ත්වයන් සඳහා ක්ෂණික ඇමතුම් අංක 117,119, 1990 සුවසැරිය සේවය, 110 ගිනිනින දෙපාර්තමේන්තුව, 113 යුද හමුදා මූලස්ථානය, 116 ගුවන් හමුදා මූලස්ථානය යන අංකවලට ඇමතිය හැකි බවද ඔහු පැවසීය


