ආපදා තත්ත්වයන්ට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ දී මූල්‍ය ගැටලු ප්‍රශ්නයක් කර නොගෙන සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ජනතාවට සහන සැලසීම හා ආපදා හානි අවම කිරීම සඳහා කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (27) පස්වරුවේ රැස් වූ අතර, එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පවතින අයහපත් කාලගුණය නිසා අද(28) සවස වන විට කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 260 ක් පමණ ආපදාවට පත්ව ඇත. අර්ධ නිවාස හානි 40ක් පමණ වාර්තාවේ.
ජලය බැස යාම සඳහා වන ඇල මාර්ගවල හා කාණු පද්ධතියේ බාධා ඉවත්කිරීම, අනතුරුදායක ගස් ඉවත්කිරීම, දැනටමත් අනතුරු සහිත ලෙස හඳුනාගෙන ඇති බෑවුම් හා බැමි ආශ්‍රිත ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමුකිරීම, හඳුනාගත් ප්‍රදේශ කීපයක සහනසේවා මධ්‍යස්ථාන සකස්කිරීම හා හදිසි අවශ්‍යතාවය වෙනුවෙන් භාවිතා කළ හැකි බෝට්ටු හා අඟුල් සූදානම් කර තැබීම ආදී කටයුතු සඳහා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් ලේකම්, පලාත් පාලන ප්‍රධානීන්, ආපදා කළමනාකරණ නිලධාරීන්, ආරක්ෂ අංශයේ ප්‍රධානීන් සම්බන්ධ විය.


