වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2025 සංවර්ධන කටයුතු තවමත් අවසන් වී නැතැයිද මූලිකවම වන සතුන්ගේ වාසස්ථාන සුපෝෂණය යන කාරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව පැවසූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අලි ඇතුන්ට මෙන්ම සත්ත්ව විශේෂ රැසකට ගැලපෙන ලෙස වාසස්ථාන සුපෝෂණය කිරීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන බවද පැවසුවේය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී 2025 වර්ෂයට අදාල වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තුවල ප්‍රගති සමාලෝචනය සම්බන්ධ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
අලි මිනිස් ගැටුමයන සාධකය සහ සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය ස්වභාවික යටිතල පහසුකම් සපයන ආයතනයක් ලෙසත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමාජගත වී ඇති නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ජාතික වනජීවී ප්‍රතිපත්තිය ඉන් ඔබ්බට පැතිරුණු ප්‍රතිපත්තියක් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එස්. එල්. ආර්. පී. මාරසිංහ මහතා සදහන් කරයි.
ජාතික වනජීවී ප්‍රතිපත්තියේ මූලිකම ඉලක්කය වනුයේ වනජීවී සම්පත් සංරක්ෂණය, ඒ සම්බන්ධ පර්යේෂණ කටයුතු දිරිමත් කිරීම, සංරක්ෂණ අධ්‍යාපන කටයුතු දිරිමත් කිරීම සහ ධරණීය ආකාරයෙන් වනජීවී සම්පත භාවිතා කිරීම සම්බන්ධව මෙන්ම වනජීවී සම්පත මගින් ලැබෙන ප්‍රතිලාභ සාධාරණ අයුරින් සමාජයේ බෙදාහදා ගැනීම යන කාරණා මූලිකම පරමාර්ථ බව පෙන්වා දුන්නේය.
ඒ යටතේ ජෛව විවිධත්ව සංරක්ෂණය, ජෛව පද්ධති වලින් කරන සේවා ස්ථාවරව පවත්වා ගැනීම, දේශීය සහ ලංකාවට ආවේණික සතුන් ආරක්ෂා කරගැනීම වැනි විෂය ක්ෂේත්‍ර රාශියක් තුළ වැඩ කිරීමට සිදුවී ඇතැයිද වැඩිදුරටත් පැවසුවේය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සෘජුවම සම්බන්ධ නොවුණද අද වන විට අලි මිනිස් ගැටුම දෙපාර්තමේන්තුවේ කාර්යයභාරයක් වී ඇතැයිද දෙපාර්තමේන්තුව කරන අනෙකුත් කාර්යය භාරයන් මෙම අලි මිනිස් ගැටුම හේතුවෙන් යටපත් වී ඇතැයිද අවධාරණය කළේය.
යටි කැලය ඉවත් කිරීම, තෘණ භූමි කළමනාකරණය කිරීම, ආක්‍රමණික ශාක ඉවත් කිරීම සහ ගිනි පැටි කැපීම තුළින් වනාන්තරවල සිදුවන ගිනි පාලනය කිරීම ආදිය සිදුකරන බවද සදහන් කළේය.
ආරක්ෂක ප්‍රෙද්ශ තුළ පවත්නා ජල පෝෂක, වැව් සහ දිය වලවල් නඩත්තු කරගැනීමත් සිදුකරන බවද මේ වසරේද ඒ වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් යොමුකර ඇතැයිද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් විශාල මෙහෙවරක් ඇතැයිද පැවසුවේය.
ජාතික උද්‍යානවල මාර්ග පද්ධතිය නඩත්තු කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇතැයිද දෙපාර්තමේන්තුවේ පාරිසරික සංචාරයට අවශ්‍ය වන යටිතල පහසුකම් සංරක්ෂණයට කටයුතු කරන බවද අවධාරණය කළේය.


