ආර්ථිකය වර්ධනය වෙද්දී වෘත්තිකයින්ට ලබා දිය හැකි සියලු පහසුකම් ලබා දෙනවා - සෞඛ්‍ය ඇමති

ආර්ථිකය වර්ධනය වෙද්දී වෘත්තිකයින්ට ලබා දිය හැකි සියලු පහසුකම් ලබා දෙනවා - සෞඛ්‍ය ඇමති
  • SocialShare:

ආර්ථිකය වර්ධනය වෙද්දී වෘත්තිකයින්ට ලබා දිය හැකි සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

දුෂ්කරතා සහ විවිධ අපහසුතා මධ්‍යයේ බොහෝ වෛද්‍යවරු අද රාජකාරී  ඉටු කරන බවත් එහෙත් ඔවුන්ට  පහසුකම් සැපයීමේදී යම් කිසි කාලයක් ගතවනු ඇතැයිද අමාත්‍යවරයා කීය. විශේෂඥ වෛද්‍ය සංගමය සහ ජනපති  අද පස්වරු 2.00ට විශේෂ සාකච්ඡාවක් පැවැත් වීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.

2022දී කඩා වැටුණු මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයට පත් කර ඇති බවත් රජය හමුවේ තිබෙන අභියෝග සම්බන්ධයෙන්ද වෛද්‍ය සංගමය සාකච්ඡා කර ඇති බවත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රෝහල් පද්ධතියට නව ගොඩනැගිලි, වාට්ටු සංකීර්ණ සහ නවීන වෛද්‍ය උපකරණ ලබා දී ඇති බවත් ඉදිරියේදී  ප්‍රවාහන පහසුකම් ඇතුළු අනෙකුත් දීමනා ලබා දීමට කටයුතු කරන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වැදගත් මානව සම්පතක් වන වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු ආරක්ෂා කර ගැනීම රජයේ වගකීම බවද සඳහන් කළේය.