වතු කම්කරු ජනතාවට රජය සාධාරණයක් කළ යුතුයි

වතු කම්කරු ජනතාවට රජය සාධාරණයක් කළ යුතුයි
  • SocialShare:

විශාල ඩොලර් ප්‍රමාණයක් අපනයන ආදායම ලෙස රටට ගෙනඑන වතු කම්කරු ජනතාව වෙනුවෙන් සාධාරණය රජය කළ යුතු බවත් රජයේ වගකීම එය බවත් කැබිනට්  ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැන්මුදීමේ මාධ්‍ය සාකච්ඡාවේදී වතු කම්කරුවන් වෙනුවෙන් රු 400ක පැමිණීමේ දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීන් නැගූ පැනයන්ට පිළිතුරු ලබා දෙමිනි.

මෙය අප රටේ වැවිලි නිෂ්පාදනය වැඩි කරගැනීම සදහා රජය ලබාදෙන දිරි දීමනාවක් බවද, ඔවුන්ගේ පැමිණීම වැඩිවී නිෂ්පාදන ඵලදායීතාවය වැඩිවීමෙන් අපනයනය සදහා වැඩි හැකියාවක් උදාවුවහොත් එය රටට යහපතක් බව පෙන්වාදුන් අමාත්‍යවරයා වතු සමාගම් සදහා අවශ්‍ය තරම් කාලයක් ලබාදුන් බවද සිහිපත් කළේය.

වතු සමාගම් වලට තව උදවු කරන බවද, එලෙස උදවු කර අවශ්‍ය ඉලක්ක වලට ඒමට නොහැකි වුවහොත් වතු සමාගම් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බව ජනාධිපතිතුමා පැවසූ බව සිහිපත් කළ කැබිනට් ප්‍රකාශකවරයා මෙතෙක් රුපියල් 1350ක් ලබාගත් වතු කම්කරුවාට තවත් රුපියල් 400ක් අතට ලැබීම සාධාරණ බවද පෙන්වා දුන්නේය.

මින් පෙර ආණ්ඩු ගණනාවක් මෙලෙස වතු කම්කරුවන්ට දීමනාවක් ලබාදෙන බව පැවසුවද ලබාදීමට නොහැකි වූ බව සිහිපත් කළ අමාත්‍යවරයා මෙම රුපියල් 400 ක අයවැය සහනය සමග වතුකරයේ ජනතාවගෙන් ප්‍රකාශයට පත්වන උද්දාමය පිළිබද බලන ලෙස මාධ්‍යෙව්දීන්ට ද ආරාධනා කළේය. වතු කම්කරුවන්ගේ ඇත්ත ප්‍රීතිය ප්‍රකාශයට පත් වෙනවා සමාජ මාධ්‍ය තුළද දක්නට ලැබුණු බව පැවසූ අමාත්‍යවරයා මින් පෙර කිසිදු ආණ්ඩුවක් මෙවැනි සහනයක් ලබා නොදුන් බවද පැවසුවේය.

වතු ජනතාව අතරේ  එම ඡන්ද වලින්ම පාර්ලිමේන්තුවට පැමිණි පරම්පරා ගණනාවක් නියෝජනය කරමින් පැමිණි දේශපාලන පක්ෂ සිටි බවද වතු ආශ්‍රිතව ඇමතිකම් ලබාගෙන ඇති බවද සිහිපත් කළ කැබිනට් ප්‍රකාශකවරයා ඔවුන්ටද එලෙස වතු ජනතාවට සහන ලබාදීමට නොහැකි වූ බවද වත්මන් රජය එම සහන ලබාදුන් බවද පෙන්වා දුන්නේය.

රුපියල් 400 බැගින් දින 25ක් සේවයට පැමිණියහොත් වැඩිපුර රුපියල් 10,000ක් අතට හිමිවන බවද වතු කම්කරු ජනතාව වෙනුවෙන් සාධාරණය රජය කළ යුතු බවද අවධාරණය කළේය. එම ජනතාව රාජ්‍ය අංශයේද පෞද්ගලික අංශයේද සිතීම නොව දිය හැකි සහන ලබාදීම වැදගත් බවද එය මෙම රජයේ වෙනස බවද වැඩිදුරටත් පැවසුවේය.