පිවිතුරු නිෂ්පාදන සහ තිරසාර භාවිතයන් සඳහා ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන පිරිනමයි

පිවිතුරු නිෂ්පාදන සහ තිරසාර භාවිතයන් සඳහා ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන පිරිනමයි
  • SocialShare:

“ ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල 2025 ” කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (6 දා) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වින. ලංකාවේ තිරසාර කාර්මික සංවර්ධනයේ ඉදිරි ගමන් මඟ සකස් කිරීමේ අරමුණ ඇතිව ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගීතාව ඇතිව මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී.

ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී පිවිතුරු නිෂ්පාදන සහ තිරසාර භාවිතයන් සඳහා කැපී පෙනෙන කැපකිරීමක් සිදුකළ  කර්මාන්තකරුවන් ඇගයීමට ලක්කරනු ලබන අතර 2007 වසරේ දී ප්‍රථම වරට ආරම්භ කරන ලද මෙම ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල ලංකාවේ පළමුවන පාරිසරික  කර්මාන්ත සම්මාන උළෙලද වෙයි.

ලංකාව තුළ ක්‍රියාත්මක වන මහා පරිමාණ,  මධ්‍ය පරිමාණ හා සේවා අංශය සඳහා සෞඛ්‍ය, ඇඟලුම්, රෙදිපිළි, මූල්‍ය, ආහාර, රබර්, තේ, රෙදිපිලි, හෝටල්,  පොල් ආශ්‍රිත නිෂ්පාදන, ප්ලාස්ටික්, ඇසුරුම්කරණ යන ක්ෂේත්‍ර වෙනුවෙන් සම්මාන සම්මාන 23 ක්, ලෝකඩ සම්මාන 14 ක්,  රිදී සම්මාන 13 ක් හා රන් සම්මාන 9 ක්  මෙවර සම්මාන උළෙලේදී ප්‍රදානය කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී කර්මාන්තකරුවන් පාරිසරික වගකීම් ඉටු කිරීම ඇගයීමට ලක් කළ යුතු බවත් නීති රීති අනපනත් මගින් සිදුකළ නොහැකි බොහෝ කාර්යන් සාමූහික වගකීම තුළ ඉතා සාර්ථකව ඉටුකළ හැකි බව පැවසීය.

මෙම සම්මාන උළෙල සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර,  ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ මෙහෙයුම් කළමනාකරු රුවන් විජයමාන්න ඇතුළු ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.