නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් සැලසුම් සකස් කිරීමට "ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව" රැස්වේ

 නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් සැලසුම් සකස් කිරීමට "ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව" රැස්වේ
  • SocialShare:

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ  අනාගත ප්‍රගමනය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය සහ මඟපෙන්වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීම පිණිස පවත්වනු ලබන "ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව" (NHDC) පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී රැස්විය.

මෙම විද්වත් කතිකාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අමාත්‍යාංශ, ලෝක සෞඛ්‍ය සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව, යුනිසෙෆ් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන, මෙරට විශ්ව විද්‍යාල, විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන මෙන් ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ සහ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් රැසක් සහභාගි වී සිටියේය.

මෙරට ජනතාවට ගුණාත්මක, ඵලදායි හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙන් ම ඉදිරි  කාලයේ මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්ති හා උපාය මාර්ගික සැලසුම්  සකස් විය යුතු ආකාරය පිළිබඳව ද මෙම විද්වත් කතිකාවේ දී ඉතා පුළුල්ව සලකා බලනු ලැබී ය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය කර මෙරට ජනතාවට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා තම ප්‍රදේශය තුළ ම  ප්‍රාථමික සෞඛ්‍ය සත්තකාර ඒකක අරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන නමින්  ස්ථාපිත කිරීම වත්මන් රජයේ ප්‍රධාන වැඩසටහනක් වන අතර එම ව්‍යාපෘතිය සක්‍රියව කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහි දී විශේෂ අවධානයක් යොමු විය.

පසුගිය අයවැයෙන් සෞඛ්‍ය අංශයේ සංවර්ධනය සදහා වෙන්කරන ලද මුදල් නියමිත ආකාරයෙන් එම අංශ සහ ක්ෂේත්‍ර සඳහාම යෙදවීම පිළිබදවත්, ඉදිරියේදී  සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට වෙන්වන මුදල් නිසි සැලසුමකට අනූව ක්‍රමවත් පරිදි යොදවා සංවර්ධනය කිරීම පිළිබදවද මෙහි දී විශේෂ අවධානයක් යොමුකරමින්  සාකච්ජා කරනු ලැබීය.

මෙම ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටු රැස්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ සැලසුම් අංශය මගින් සංවිධානය කරන ලද අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අදහසකට අනූව මෙම කමිටුව ස්ථාපිත කර ඇත.

 මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හා රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන් රැසක් ද එක්ව සිටියහ.