නවදිල්ලියේ නේවාසිකව සිටින ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතා අද (03) දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යංශයේ දී මුණගැසුණේ ය. ඒ මහතා සමඟ ස්වීඩන වෙළඳ හා ආයෝජන කවුන්සිලයේ නියෝජිත පිරිසක් ද ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු ද එක්ව සිටියහ.
ශ්‍රී ලංකා රජය ගත වූ වසරක කාලය තුළ ලබා ඇති ප්‍රගතිය තානාපතිවරයාට විස්තර කර දුන් අමාත්‍යවරයා ආර්ථිකයේ සෑම අංශයක් ම දියුණු වෙමින් පවතින බවත් අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවෙන් රජය කටයුතු කරන බවත් පැහැදිලි කළේ ය. ස්වීඩනය ශ්‍රී ලංකාවේ දියුණුව සඳහා ඉතිහාසය පුරා කර ඇති සේවය හා ව්‍යාපාරික අංශයේ කර තිබෙන ආයෝජනා පිළිබඳව ද අගය කළේ ය. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටත්, අලුත් ආයෝජන අවස්ථා ස්වීඩන ව්‍යාපාරිකයන් මගින් ඇති කිරීමටත් ස්වීඩන රජයේ සහාය අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ හා ඛණිජ හා කැනීම් කටයුතුවල ආයෝජන අවස්ථා රැසක් පවතින බැවින් එම අවස්ථා කෙරෙහි ආයෝජකයන් උනන්දු කරන ලෙස ද අමාත්‍යතුමා වැඩිදුරටත් ඉල්ලා සිටියේ ය.
ශ්‍රී ලංකා රජයේ ස්තීරසාර හා අධිෂ්ඨානශීලී පියවරයන් ස්වීඩනය විමසිල්ලිනේ බලා සිටින බව ද තව තවත් ආයෝජන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට, අදාළ ආයතන සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද මෙම හමුවේ දී තානාපතිවරයා දැනුම් දුන්නේ ය. ශ්‍රී ලංකාවේ කුරුඳු ස්වීඩනය තුළ කෙතරම් බහුලව පරිභෝජනය කරන්නේ ද යත් සෑම ගෘහයකම ශ්‍රී ලංකාවේ කුරුඳු යොදාගනිමින් ආහාරපාන වර්ග සකස් කරන බැවින් ශ්‍රී ලංකාවේ කුරුඳු ස්වීඩනයට ආනයනය කිරීම තව තවත් ඉහළ යා හැකි බව ද ඔහු දන්වා සිටියේ ය.
දැනට වාර්ෂිකව 14000ක් පමණ ස්වීඩන සංචාරකයක් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර දිවයින තුළ පවතින ස්වභාව සෞන්දර්‍ය, ජෛව විවිධත්වය හා ආකර්ෂණීය වෙරළ තීරය ස්වීඩන ජනතාව තව තවත් ඇදගනු ඇතැයි ද ප්‍රකාශ කළේ ය. නමුත් දැනට ස්වීඩනය සිට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඍජු ගුවන් ගමන් නොමැති වීම අඩුපාඩුවක් බවත් පෙන්වා දුන් තානාපතිවරයා ඒ පිළිබඳව සොයා බලන ලෙසත් අමාත්‍ය විජිත හේරත්ගෙන් ඉල්ලා සිටියේ ය.
ස්වීඩනයේ නිෂ්පාදනය කරන විදුලි බලයෙන් ක්‍රියා කරන මගීන් ගෙනයන බෝට්ටු සංචාරක ව්‍යාපාරය සඳහා නොයෙක් රටවල භාවිත කරන අතර එම බෝට්ටු භාවිතය පිළිබඳව හා සංචාරක ප්‍රවාහනයට යොදාගන්නා ආකාරය පිළිබඳව වීඩියෝවක් ද අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කළහ. මෙම බෝට්ටු නිෂ්පාදන සමාගම ශ්‍රී ලාංකික සමාගමක් සමඟ එක්ව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ආයෝජන කිරීමට සාකච්ඡා පවත්වමින් යන බව ද තානාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ස්වීඩන විශ්වවිද්‍යාලවලට බහුලව යොමු වන බවත් එය ඉදිරියේ දී විශාල වශයෙන් වර්ධනය කිරීමට ස්වීඩන රජය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද තානාපතිවරයා තවදුරටත් දැනුම් දුන්නේ ය.
ස්වීඩන් තානාපතිවරයා ඉදිරිපත් කළ යෝජනා දෙරට අතරේ සහයෝගීතාව වර්ධනය සඳහාත් දෙපාර්ෂවයටම වාසිදායක වන අයුරින් ක්‍රියාත්මක කිරීමටත් එකඟ වූ අමාත්‍යවරයා ස්වීඩනයට යාම සඳහා වීසා ලබා ගැනීමට අයදුම් කරන ශ්‍රී ලාංකිකයනට ඒ සඳහා නවදිල්ලියට යාමට සිදු වන හෙයින් ශ්‍රී ලංකාවේ දී වීසා ලබා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ගයක් යොදන ලෙස හෝ ස්වීඩන තානාපති කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලෙස ද යෝජනා කළේ ය.


