සෑම වසරකම ඔක්තෝබර් 08 වන දින ජාතික විශ්‍රාම දිනය සමරන අතර මෙවරත් ජාතික දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහතා පවසයි.
විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ ජාතික විශ්‍රාම වැටුප් දිනය පිළිබඳව දැනුවත් කිරීමට අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මෙවර වැඩසටහනේ තේමාව වනුයේ සවිමත්, සුවපත්, දිරිමත් දිවියක් බව පැවසූ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම තේමාව යොදාගැනීමට හේතු වූයේ රජය වෙනුවෙන් සේවය කළ විශ්‍රාමික නිලධාරීන්ට විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ තවත් කාලයක් රටට සේවය කිරීමට හැකියාව පවතින බවද ඒ අනූව ඔවුන් සවිමත් විය යුතු අතර නිරෝගීමත්ව ජීවිතය තුළ දිරිය පැවතිය යුතු බවද අවධාරණය කළේය.
එම අරමුණු රජයේ ප්‍රාර්ථනය බවද ඒ පිළිබඳව සලකා මෙලෙස තේමාව සකස් කළ බවද පැවසුවේය. මෙවර ජාතික විශ්‍රාම දිනයේ ප්‍රධාන වැඩසටහන කැලණිය වෙදමුල්ල විශ්‍රාමික නිකේතනයේ උදෑසන08ට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ එච් එම් එච් අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දවස පුරා පවත්වන බවද සදහන් කළේය.
එම වැඩසටහනේ අංග ගණනාවක් පවතින බවද දිවයින පුරා විසිරී සිටින විශ්‍රාමික ප්‍රජාව නියෝජනය කිරීමට කොටසක් එම ස්ථානයට කැදවා ඔවුන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය සායනයක් පවත්වන බවද පැවසුවේය. විශ්‍රාාමික මහත්ම මහත්මීන් අතරින් තෝරාගත් පිරිසකගේ දක්ෂතා එනම් ගීත ගායනා සහ වෙනත් කුසලතා ඇති අයගේ දක්ෂතා එදිනට එළිදැකිවීමට බලාපොරොත්තු වන බවද සදහන් කළේය.
විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් වෛද්‍යවරයෙකු ගෙන්වා දේශනයක් පවත්වන බවද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් පළ කළ විශ්‍රාමික තොරතුරු ඇතුලත් පුවත්පතක් ද එම සභාවේදී එළිදක්වන බවද සදහන් කළේය.
දවස පුරා එම උත්සවයට සහභාගී වන මහත්ම මහත්මීන්ට එදා දවසට අවශ්‍ය කරන සත්කාරක සේවා බොහෝම සතුටින් සූදානම් කර ඇති බවද වැඩිදුරටත් පැවසුවේය.
ඊට අමතරව ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම ඔවුන්ට පුළුවන් මට්ටමෙන් මෙම වැඩසටහන සංවිධානය කිරීමට උපදෙස් ලබාදී ඇතැයිද දිවයින පුරා විසිරී සිටින විශ්‍රාමික සංගම් වලත් ආධාරයෙන් මුළු දිවයින පුරාම විවිධ වැඩසටහන් එම දිනයේදී සංවිධානය වන බවද පැවසුවේය.


